Wednesday, 11 September 2024

FB පළ වූ ලිපියකින් උපුටා ගත් කොටසකි.

 ...........සිත අල්ලා ගතහොත් කුමක් කළ හැකිද?........

👉සිත යනු සියලුම දැකීම්, ඇසීම්, දැනීම් ග්රහණය කරන්නා සහ ඊට අදාළව ඒවායේ සුභ අසුභය තීරණය කරන්නා වේ. ඉහත සඳහන් කල දැකීම් ඇසීම්, දැනීම්වලට අදාළව සිත තුළ රූප ආකාරයෙන්ද, හැඟීම්, දැනීම් ආකාරයෙන්ද එම අවස්ථාවන්ට ගැලපෙන සේ මානසික ස්වභාවයන් හටගනී.
👉උදා: අපගේ ජීවිතයට සමීපතම ඥාතියකුගේ වියෝව අවස්ථාවේදී අප මනස සහ ශරීරය ඇද බැඳ තබාගන්නා, මුලු පරිසරයම එපා කරවූ පාළු, ස්වභාවය,මෙයද සිතකි. (මෙවැනි බොහෝ ස්වභාවයන් සිතක් ලෙස හඳුනා ගත හැක්කේ දීර්ඝකාලීන පුහුණුවකිනි). තවද යම් කාර්යයක් කරගෙන යාමේදී ඇතිවන පීඩාව.මෙයද සිතකි. එය හඳුනාගෙන ඉක්මනින් ඉවත්කල යුතුය. අපට පහළ වන සියලුම සිත් ගැන කතා කිරීම අපහසු කටයුත්තක් සහ ඒවා වචනවලට පෙරළීමද අපහසු කටයුත්තකි.
🔍එබැවින් මෙලෙස හඳුනාගත යුතුය. කෙටියෙන් පවසනවා නම් මනසට, ශරීරයට යම් කිසි පීඩාවක්, බරක්, වැනි ස්වභාවයක් දැනේනම් එහිදී අපි හඳුනාගත යුත්තේ අප සිතක් මගින් ඇති කරපු යම් කිසි ස්වභාවයකට සිරවී ඇති බවයි. මෙලෙස කොපමණ අවස්ථාවන් අපගේ ජීවිතයට හමුවී ඇත්ද?සහ එමගින් අපගේ ජීවිතය දුකට පීඩාවට පත්වී ඇති ද යන්න කල්පනා කර බැලිය යුතුය. මෙම සිතෙහි පවතින ක්රියාවලිය අවබෝධ කර ගැනීමෙන් මෙම සියලුම ප්රශ්න වලට තිත තැබිය හැක.
▶️ඕනෑම දෙයක් පිළිබඳව අවබෝධයක් ලැබීමට නම් එය අධ්යයනය, නිරීක්ෂණය කළ යුතුය. සිත සම්බන්ධයෙනුත් එලෙසමය.
🕧"සිතේ වේගය අල්ලා ගැනීම" යනු ඔබේ මනසට නිරන්තරයෙන් එන, යන, මාරුවෙන, අතුරුදන් වෙන සිතුවිලි පිළිබඳ සිහියෙන් සිටිමින් අවබෝධයක් ලබා ගැනීමයි. මෙම ක්රමය දීර්ඝ කාලයක් තිස්සේ පුහුණු කලහොත් ලැබෙන ප්රතිඵලය විශ්මිත වන අතර එය අප අත්දකින මානයන්ගෙන් ඔබ්බට ගොස් ලෝකය දැකීමට වෙනත්ම ඇසක් අප තුළ නිර්මාණය කිරීමට උපකාර වනු ඇත.
🚹සාමාන්යයෙන් අපේ මනස ක්රියා කරන ආකාරය:
👉සිතුවිල්ලක් එනවා - අපි ඒක අල්ලා ගන්නවා - ඒ සිතුවිල්ල අනුව චින්තන රටාව පටන් ගන්නවා - ඊළඟ සිතුවිල්ල එනවා - ඒකත් අල්ලා ගන්නවා - මෙලෙස මේ ක්රියාවලිය දිගටම පවතිනවා.
👉සාමාන්ය මනසේ ස්වභාවය - සිතක් පහළ වූ බව පවා නොදනි. ඇලෙන ගැටෙන සිතක් පහළ වූ ක්ෂණයෙන්ම සිත හා ශරීරය ඒකාත්මික වී ක්ෂණික ප්රතිචාර දක්වයි. තවද පසුකම්පන සිත් අල්ලාගෙන එම පහළ වූ සිත් සමග ලෝකයක් සාදාගෙන ජීවත්වෙයි.
උදා: ක්රෝධ සිතක් පහළ වූ කල්හි අදාළ පාර්ශ්වය සමඟින් ඇති කරගත් ගැටුම ගැන නැවත ආවර්ජනා කරමින් "අපරාදේ මට මෙහෙම කියන්නත් තිබුණා. නැවත හම්බවුණොත් මෙහෙම කියනවා" ආදී ලෙස සිතමින් මනසින් එම ගැටුම තවත් වර්ධනය කර ගනී. එවිට සිතේ පීඩාව දෙගුණ, තෙගුණ වී යයි.
💐පුහුණු කළ මනසේ ස්වභාවය - ඇලෙන ගැටෙන සිතක් පහළ වූ විට ක්ෂණයෙහි එය දැකීම,එය දැනීම.
🏵️වැදගත් දේ: සිත නිරීක්ෂණය කිරීමේදී සිතට එන සිතුවිලි ප්රමාණය ක්රම ක්රමයෙන් අඩුවේ. එවිට මනස තුළ ශුන්යතාවයක් හට ගනී. එය තත්පර කිහිපයකින් ආරම්භ වී විනාඩියක් පැය ගණන් දක්වා දීර්ඝ කරගත හැක. මෙම අවස්ථාව ඒකාග්රතා භාවනාවක් වැඩීම සඳහා උපකාරී කරගත හැක. දීර්ඝ කාලයක් සිත නිරීක්ෂණය කිරීමෙන් පෙර පසු නොවී සිතුවිලි ග්රහණය කර ගත හැකිවන අතරින් ඕනෑම සිතුවිල්ලක් සම්පූර්ණයෙන්ම පාහේ පාලනයට නතු කර ගැනීමට හැකිවේ. අප කැමති ඇලෙනසුළු සිතිවිලි පෙර පසු නොවී හඳුනාගැනීමෙන් ඒවා නිරීක්ෂණයට පමණක් සීමාවන අතර නොඇලෙන පුද්ගලයෙකු බිහිවේ. කෝපකාරී සිතුවිලි ද පෙර පසු නොවී හඳුනාගැනීමෙන් අන් අයට ඇහුම්කන් දෙන, ආවේගශීලී බව අඩු, මෛත්රිය වැඩිදියුණු වූ පුද්ගලයෙකු බිහිවේ. එලෙසම අපව මුළුගන්වන අලස සිතුවිලි හඳුනාගැනීමෙන් සහ ඒවාට අනුගත නොවීමෙන් කඩිසර පුද්ගලයෙකු බිහිවේ. මෙලෙස සිත නිරීක්ෂණය කරමින් දීර්ඝ කාලයක් පුහුණු කරමින් සිටීමේදී විටින් විට, ක්රියාවක් කිරීමට පෙර හට ගන්නා සිත නිරීක්ෂණය වීමට පටන් ගනී. මෙම අවස්ථාව යමෙකුට නිරීක්ෂණය වුවහොත් එම අවස්ථාවේ පහළ වන සිත ලෞකික ලෝකයේ පුද්ගලයෙකු හට ජිවිතයේ ප්රථම වරට ළඟා කර ගත හැකි ඉහළම වටිනාකමක් සහිත මිළ කළ නොහැකි සියලුම හඬා වැටීම්, පසුතැවීම්, දැවීම් මුලිනුපුටා දැමීමේ මාර්ගයේ ප්රථම බීජය පහළ වූ බව තේරුම් ගනිමු.
🪷මෙය දහමේ හැඳින්වනුයේ නාම - රූප පරිච්ඡේද ඤාණය යනුවෙනි. මෙහිදී ආත්ම සංඥාවට අකුණු පහරක් ගැහුවා සේ හැඟීමක් ඇතිවේ. එයට හේතුව නම් මෙපමණ කාලයක් ශරීරය ආත්ම කොටගත් ස්වභාවයක් පමණක්ම ඇත යන හැඟීමකින් ජීවත් වූ අප මෙහිදී “ශරීරය තමන් බව නොව, සිතුවිල්ලක් හට ගැනීමෙන් අනතුරුව ශරීරය ප්රතිචාර දක්වනවා” යන්න ප්රත්යක්ෂයෙන් දැකගැනීමයි.
මෙලෙස නැවත නැවතත් සිත නිරීක්ෂණය කරමින්ම කාලය ගත කළ යුතු අතර නැවත මෙම සිත සහ ශරීරය වෙන්ව පවතින අවස්ථාවන් විටින් විට අත් දකින්නට ලැබේ. මෙහිදී සිහිය, ප්රඥාව ඉතා තියුණු මුහුණුවරක් ගනිමින් පවතින අතර සාමාන්ය මනසක පවතින සිත කතා කරන ස්වභාවය, ඇලෙන ගැටෙන රූප සිතුවිලි කෙරෙහි ලුහුබැඳයාම, කලකිරෙන ස්වභාවය, බිය ආදී මානසික තත්ත්වයන් ඉතාමත් අඩුවන අතර ඒවා පාලනයට නතුකර ගැනීමට හැකි වනු ඇත. කුමන හේතුවක් මත හෝ පුහුණුවන්නාගේ සිහිය වෙනතක ගියහොත් සිහිය පැවැත්වීම දැඩිව පුහුණු කළ බැවින් සිහිය මගින්ම පෙර තත්වයටම මනස ගෙනඑනු ලබයි.
🌸නිගමනය: සිත නිරීක්ෂණය කිරීම යනු අප ජීවිතයේ අර්ථය සහ පදනම හඳුනාගැනීමයි. මෙහිදී පුද්ගලයෙක් නොඇලෙන මනසක් ගොඩනගාගන්නා අතර දුක, පසුතැවීම, දැවීම ආදී සියල්ලේ නිජබිම හඳුනාගනී.
🌊සාගර තරංගයක් සේ..
උස් පහත් වන හැපෙන, ගැටෙන...
සිත් සයුර..
දකිමින්, දනිමින්..
හිස් බවෙහි කිමිදෙමින්...
අරුත සොයමු ජීවිතයේ ..
✍️ ජේ. එල්. නිමේෂ්

No comments:

Post a Comment

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...