Saturday, 30 November 2019

බුද්ධානුස්සති භාවනාව

බුද්ධානුස්සති භාවනාව

ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!

මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. රහසින්වත් පව් නො කළ සේක. සියලු පාපයන්ගෙන් මිදුණ සේක. සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක.
බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොඇලූන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නොඇලූන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. කයින් පහස ලැබ ඒ පහස කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු ද සිතා ඒ අරමුණු කෙරෙහි නොඇලුන සේක, නොගැටුන සේක, මුලා නොවුන සේක, ආශාව දුරු කළ සේක.
බුදුරජාණන් වහන්සේ අරහං වන සේක, අරහං වන සේක, අරහං වන සේක.
මගෙ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ යුතු වූ, දුක නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ සේක. ප්‍රහානය කළ යුතු වූ දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළ සේක. සාක්ෂාත් කළ යුතු වූ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළ සේක. ප්‍රගුණ කළ යුතු වූ දුක නැති වීමේ මග නම් වූ ආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රගුණ කොට වදාළ සේක.
මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, සත්‍ය ඤාණ වශයෙන්ද, කෘත්‍ය ඤාණ වශයෙන්ද, කෘතඃ ඤාණ වශයෙන් ද, පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වන සේක, සම්මා සම්බුද්ධ වන සේක සම්මා, සම්මා සම්බුද්ධ වන සේක.
මගෙ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීමද, පොලොවේ කිමිදී වෙන තැනකින් මතුවීම ද, ජලයේ සක්මන් කිරීමද, සියල්ල විනිවිද නොපෙනී ගමන් කිරීම ආදී අනන්ත ප්‍රාතිහාර්යයෙන් යුතු ඉර්ධිවිද ඥානයන් ලබාගත් සේක. දුර තිබෙන රූපයන්ද, ළඟ තිබෙන රූපයන්ද, දැකීමේ හැකියාව වූ දිබ්බචක්ඛු ඤාණය ලබාගත් සේක. දුර තිබෙන ශබ්දයන්ද, ළඟ තිබෙන ශබ්දයන්ද, ඇසීමේ හැකියාව වූ දිබ්බසෝත ඤාණය ලබා ගත් සේක. සියලු ලෝක සත්වයන් ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත් සේක. සියලු ලෝක සත්වයන් කර්මානුරූපව උපදින ආකාරයද, කර්මානුරූපව චුතවන ආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඤාණය ලබාගත් සේක. සියලු ආශ්‍රවයන් මුළුමනින්ම නැති කොට ඥාණාලෝකය උපදවාගෙන ආසවක්ඛය ඤාණය ලබාගත් සේක.
මෙසේ අනන්ත ඤාණයෙන්ද, අනන්ත සීලයෙන්ද, අනන්ත සමාධියෙන් ද, අනන්ත ගුණයෙන් ද, සමන්විත නිසා බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක, විජ්ජාචරණ සම්පන්න වන සේක.
මගෙ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සුන්දර නිවන් මග සොයාගෙන සුන්දර නිවනට වැඩම කළ නිසා සුගත වන සේක, සුගත වන සේක, සුගත වන සේක.
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු බ්‍රහ්ම ලෝකද, සියලු දිව්‍ය ලෝකද, මේ මිනිස් ලෝකයද, සතර අපාය ආදී මේ සියලු ලෝකයන් අවබෝධ කොටගෙන සියලු ලෝක වලින් නිදහස් වූ නිසා ලෝකවිදූ වන සේක, ලෝකවිදූ වන සේක, ලෝකවිදූ වන සේක.
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්යයෙන් ද, අනුන්ගේ සිත් දකිමින් දහම් දෙසීම නම් වූ ආදේශනා ප්‍රාතිහාර්යයෙන් ද, අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් ද අකීකරු දෙව් මිනිසුන්ව දමනය කොට දහමට කීකරු කරවා අමා මහ නිවනට පමුණුවා වදාළ නිසා අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වන සේක.
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ට ද, නුවණැති මිනිසුන්ට ද සසර කතරින් එතෙරවීම පිණිස මාර්ගය පෙන්වා වදාළ නිසා සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක, සත්ථා දේවමනුස්සානං වන සේක.
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අන් අයටද අවබෝධ කරගැනීම පිණිස ඉතා සුන්දර ලෙස, ඉතා පැහැදිලි ලෙස, පැහැදිලි වචන වලින්, පැහැදිලි අර්ථ වලින් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක, බුද්ධ වන සේක, බුද්ධ වන සේක.
මගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මේ සියලු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති සේක. හිරු සඳු එළිය පරදවන අනන්ත ආලෝකය ඇති ප්‍රඥාලෝකය දරා ගැනීමට තරම් භාග්‍ය ඇති සේක. මහා කරුණාවෙන් සිසිල් වී ගිය හද මඬලක් දරා වැඩසිටීමට තරම් භාග්‍ය ඇති සේක. බුදු රජාණන් වහන්සේ භගවා වන සේක, භගවා වන සේක, භගවා වන සේක.
බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි. බුදුගුණ අනන්තයි....
අනන්ත ගුණයෙන් යුතු, අනන්ත ඤාණයෙන් යුතු, මහා කරුණාවෙන් සමන්විතව වැඩසිටියා වූ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා!

සාදු! සාදු!! සාදු!!!

අංගුත්තර නිකාය

ඒක ධම්ම පාලිය

සැවැත් නුවර දී......
"පින්වත් මහණෙනි, එක ම එක දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වෙනවා. ඒ එකම එක දේ කුමක්ද? බුද්ධානුස්සතියයි. (බුදුරජාණන් වහන්සේගේ ගුණ නුවණින් සිහි කිරීමයි.)
පින්වත් මහණෙනි, මෙය වනාහී භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් ඒකාන්තයෙන් ම අවබෝධයෙන් කලකිරීම පිණිස ම, නොඇලීම පිණිස ම, කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස ම, කෙලෙස් සංසිඳීම පිණිස ම, විශේෂ වූ අවබෝධය පිණිස ම, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ම, අමා නිවන පිණිස ම හේතු වන එකම දෙය වේ."
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියලුම ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන සේක.

සාදු! සාදු!! සාදු!!!

No comments:

Post a Comment

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...