තිත්තිර ජාතකය
පින්වතුනේ, පින්වත් දරුවනේ, වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.
අනාථපිණ්ඩික සිටුතුමා පනස් හතර කෝටියක් වියදම් කොට ජේතවනාරාමය පිළියෙල කළා. දූතයන් මාර්ගයෙන් භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරින් පිටත් වෙලා විශාලා මහනුවරට වැඩම කරලා හිටියේ. ඉතින් භික්ෂු සංඝයාත් සමග සැවැත් නුවර බලා පිටත් වුනා.
නමුත් ඡබ්බග්ගිය නමැති හිතුවක්කාර භික්ෂූන් සය දෙනා වේලාසනින් ජේතවනයට ගියා. ‘කොහේද සංඝයාට සෙනසුන් පණවලා තියෙන්නේ?’ කියලා ඒ පැත්තට ගියා. ගිහින් මහතෙරුන් වහන්සේලා වඩින්ට කලින්, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩින්ට කලින් සියලු සෙනසුන් අත්පත් කරගත්තා. ‘හා… මේක අපේ උපාධ්‍යායන් වහන්සේට. මේක අපේ ආචාර්යයන් වහන්සේට කියමින් තමන් ගේ භික්ෂූන්ට දෙන්ට උත්සාහවත් වුනා. පස්සේ වැඩම කළ මහතෙරුන් වහන්සේලාට සෙනසුන් ලැබුනේ නෑ. අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේත් අන්තිමට වැඩියේ. උන්වහන්සේට වැඩ ඉන්ට සේනාසනයක් ලැබුනේ නෑ. ඉතින් අපගේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගේ සේනාසනයට නුදුරින් එක්තරා රුක් සෙවනක වාඩිවීමෙන් සක්මන් කිරීමෙන් රැය පහන් කළා.
භාග්‍යවතුන් වහන්සේ පාන්දරින්ම කුටියෙන් නික්ම උගුර පෑදුවා. සාරිපුත්තයන් වහන්සේත් උගුරු පෑදුවා.
“කව්ද ඔය?” “මම ස්වාමීනී, සාරිපුත්ත”
“ආ… සාරිපුත්ත…. මොකද මේ වෙලාවේ. මෙහි මොකක්ද කරන්නේ?”
“ස්වාමීනී, මං එන්ට ටිකක් පමා වුනා. ඒ නිසා සේනාසනයක් ලබාගන්ට බැරිවුනා. ඉතින් මං මේ රුක් සෙවනට ආවා. මෙතනත් හොඳයි. මං වාඩිවෙමින්, සක්මන් කරමින් කල්ගෙව්වා. ස්වාමීනී, මට අපහසුවක් නෑ”
භාග්‍යවතුන් වහන්සේට මහත් සංවේගයක් හටගත්තා. ‘අහෝ… සත්වයන්ගේ පිරිහී යන ස්වභාවය..! මා ජීවත්ව සිටිය දී ම එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරන හැටි’
භාග්‍යවතුන් වහන්සේ එදා උදෑසනින් ම සියලු භික්ෂු සංඝයා රැස්කොට වදාළා. “හැබෑද මහණෙනි, මේ ඡබ්බග්ගිය භික්ෂූන් තම තමන්ගේ භික්ෂූන්ට වේලාසනින් ම සෙනසුන් වෙන් කරගත්තාද? මහා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට සෙනසුන් ලබාගන්ට බැරිවුනාද?” “එහෙමයි ස්වාමීනී”
එවිට භාග්‍යවතුන් වහන්සේ ඡබ්බග්ගිය භික්ෂූන් ගේ ක්‍රියාවට අප්‍රසාදය පළකොට වදාළා. නැවත මෙසේ අසා වදාළා.
“මහණෙනි, කොයි භික්ෂූන් ද මුල්ම ආසන, මුල්ම පැන්, මුල්ම දානේ ලබන්ට සුදුසු?”
එතකොට ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, ක්ෂත්‍රීය වංශික භික්ෂූන්ට යි සුදුසු…. ස්වාමීනී, බ්‍රාහ්මණ වංශික භික්ෂූන්ට යි සුදුසු…. ස්වාමීනී, විනයධර භික්ෂූන්ට යි සුදුසු… ස්වාමීනී, ධර්මකථික භික්ෂූන්ටයි සුදුසු…. ස්වාමීනී, ධ්‍යාන ඉපිදවූ භික්ෂූන්ට යි සුදුසු…. ස්වාමීනී, මාර්ගඵලලාභී භික්ෂූන්ටයි සුදුසු…. ස්වාමීනී, අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලාට යි සුදුසු…” ආදී වශයෙන් කියන්ට පටන් ගත්තා.
“නෑ… මහණෙනි… මාගේ ශාසනයේ මූලාසනය ලබන්ට, මුලින් ම පැන් ලබන්ට, මුලින් ම දානෙ ලබන්ට ඒවා සුදුසුකම් නොවෙයි. මාගේ ශාසනයේ මුලින් ම පැවිදි වූයේ උපසම්පදා වූයේ යමෙක් ද, ඒ උපසම්පදාවෙන් ලබන වැඩිමහලු පිළිවෙළ පමණයි මූලාසනයට, මුල්ම දානෙට සුදුසු.
දැන් බලන්ට මහණෙනි, මාගේ අග්‍රශ්‍රාවක, අනුධර්මචක්‍රප්‍රවර්තක සාරිපුත්තයන් මා ළඟට සෙනසුනක් ලබන්ට ඒකාන්තයෙන් ම සුදුසුයි. නමුත් සාරිපුත්තයෝ මේ රාත්‍රියේ සෙනසුනක් නොලබා රුක් සෙවනක ගත කළා. මහණෙනි, දැන් ම මෙහෙම වුනොත් කල් යත් යත් මොනවා වේවිද!
මහණෙනි, ඉස්සර කාලේ තිරිසන්ගත සත්වයන් පවා ‘අපි එකිනෙකා අගෞරවයෙන්, යටහත් පැවතුම් නැතිව ඉන්න එක සුදුසු නෑ. අපි අතර ඉන්න වැඩිමහලු කෙනා තෝරාගෙන ඔහුට ගරුසරු දක්වා වාසය කරන්ට ඕනෑ’ කියලා කටයුතු කළ නිසා ඔවුන් තිරිසන් ආත්මයෙන් චුත වුනාට පස්සේ දෙවියන් අතර උපන්නා” කියලා මේ ජාතක දේශනාව වදාළා.
“මහණෙනි, ඉස්සර කාලේ හිමාල වනාන්තරේ අතුපතර විහිදී ගිය මහා නුගයක් තිබුනා. මේ නුගරුක් සෙවනේ තිත්වටුවෙකුයි, වඳුරෙකුයි, ඇතෙකුයි ඉතාම හිතමිත්‍රව වාසය කළා. නමුත් එකිනෙකා කෙරෙහි විශේෂ ගෞරවයක් තිබුනේ නෑ. විහිලු තහලුවෙන් වාසය කළා. දවසක් ඔවුන් මෙහෙම කතාවුනා. “අපි මෙහෙම එකිනෙකාට ගෞරවයක් නැතිව වාසය කරන එක හරි නෑ. අපි අතර ඉන්න වැඩිමහලු කෙනා කව්ද කියලා සොයාගනිමු. ඔහුට ගරු සත්කාර කරගෙන වාසය කරමු. ඉතින් අපි කොහොමද අපි අතර ඉන්න වැඩිමහලු කෙනා සොයාගන්නේ?”
දවසක් ඔවුන් මහ නුගේ යට වාඩිවෙලා හිටියා. එතකොට තිත්වටුවාත්, වඳුරාත් ඇතාගෙන් මෙහෙම ඇහැව්වා. “සගය, හස්තිය, මේ මහා නුග රුක ගැන ඔබ දන්නේ කොයි කාලේ පටන් ද?”
“මිත්‍රවරුනි…. මට මතකයි. මං පුංචිම පැටියා කාලේ මං මේ වනයේ ගස් අතරින් යනවා. එතකොට මේ නුගේ මගේ කුසේ ගෑවෙනවා. පොඩි පැලයක්”
ඊටපස්සේ තිත්වටුවායි ඇතායි වඳුරාගෙන් ඇහැව්වා “සගය, වානරය, ඔබට මොකක්ද මේ මහා නුගරුක ගැන තියෙන මතකය?”
“මිත්‍රවරුනි…. මටත් මතකයි. මං කුඩා පැටියා කාලේ බිම වාඩිවෙලා බෙල්ල උස්සන්නේ නැතිව මේ නුගරුකේ මුදුන් දල්ල කඩාන කෑවා. ඔය විදිහට මට කුඩා අවදියේ ඉඳලා මතකයි”
ඊටපස්සේ ඇතායි වඳුරයි තිත්වටුවාගෙන් නුගරුක ගැන දන්නා තොරතුරු ඇහුවා.
“මිත්‍රවරුනි, ඉස්සර ආන්න අතන දිරාපු නුගයක් තිබුනා. දැන් ඒක එතන නෑ. මැරිලා ගිහින්. අන්න ඒ නුගේ අතරින් පතර සෑදුන අතුවල ගෙඩි හටගන්නවා. මං ගිහින් ඒ නුගගෙඩි කනවා. මං එහෙම නුගගෙඩි කාලා දවසක් මෙතැන මං වර්චස් කළා. ඒ වර්චස් ගොඬේ තිබුන නුග ඇටයකිනුයි මේ නුගය පැලවුනේ. මගේ මතකය ඕන්න ඔහොමයි. එනිසා ඔබෙන් වැඩිමහලු ම කෙනා මම කියලයි හිතෙන්නේ”
එතකොට ඇතායි වඳුරයි තිත්වටුවාට මෙහෙම කිව්වා. “එසේය යහළුව, ඔබම යි අප අතර ඉන්න වැඩිමහලු කෙනා. අපි අද පටන් ඔබට සත්කාර, ගෞරව, වන්දන, මානන, පූජා පවත්වනවා. ඔබේ අවවාද අනුව අද පටන් අපි කටයුතු කරනවා. අපට අද පටන් ඔබ අවවාද කළ මැන. අනුසාසනා කළ මැන”
එතකොට බෝසත් තිත්වටුවා ඔවුන්ට අවවාද කළා. තමාත් සිල් ගත්තා. ඔවුන්වත් සීලයෙහි පිහිටෙව්වා. මෙසේ එකිනෙකාට ගෞරවයෙන් වාසය කොට මරණින් මතු දෙවියන් අතර උපන්නා.
මෙසේ මහණෙනි, තිරිසන් සතුන් පවා වැඩිහිටියන්ට ගරුසරු ඇතිව වාසය කොට තියෙනවා. මෙවැනි ස්වාක්ඛාත ධර්මවිනය තියෙන උතුම් බුදු සසුනක පැවිදි වී සිටින ඔබ එකිනෙකාට ගෞරව කිරීම ගැන මොනතරම් සැලකිලිමත් වෙන්ට ඕනෑ ද. අදින් පසු කිසි නවක භික්ෂුවක් වැඩිමහලු භික්ෂූන්ව සෙනසුනෙන් බැහැර නොකළ යුතුයි. යමෙක් එසේ කරනවා නම් එය වරදක් බවට ශික්ෂාපදයක් පණවා වදාළා. ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.
“යම් කෙනෙක් වැඩිහිටියනට ගරු කරත් නම්
දක්ෂයෝ ය ඔවුහු දහමේ
මෙලොව ද පැසසුම් ලබන්ට සුදුසු ය
පරලොව සුගතියෙ උපත ලබත්ම ය”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩිහිටියන්ට සැළකීමේ බොහෝ අනුසස් වදාළා. “මහණෙනි, ඒ කාලේ ඇතා වෙලා හිටියේ අපේ මොග්ගල්ලානයන්. වඳුරා වෙලා හිටියේ අපේ සාරිපුත්තයන්. නුවණැති තිත්වටුවා වෙලා සිටියේ මම යි” කියා මේ ජාතකය වදාළා.
*සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ*
*උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...*

No comments:
Post a Comment