Saturday, 12 September 2020

💫 ධූතාංග සමාදානය💫

 💫 ධූතාංග සමාදානය💫 - (උත්සාහවත් උපාසකෝපාසිකාවන්ට සිල් සමාදන් වන දිනවල රැකිය හැකි)

සීල කොට්ඨාසයට අයත් ධුතාංග නම් වූ ප්‍ර‍තිපත්ති කොටසක් ඇත්තේ ය. උත්සාහවත් උපාසකෝපාසිකාවන්ට සිල් සමාදන් වන දිනවල දී අතිරේක ප්‍ර‍තිපත්තිය වශයෙන් ධූතාංග ද සමාදන් වී රැකිය හැකි ය. ධූතාංග තෙළෙසක් ඇත්තේ ය. ඒ සියල්ල සමාදන් විය හැක්කේ උපසම්පදා භික්ෂූන්ට පමණෙකි. එකක් හැර දොළොසක් සාමණේරයන්ට රැකිය හැකි ය. ගෘහස්ථ උපාසක උපාසිකාවන්ට රැකීමට සුදුසු ධූතාංග දෙකක් ඇත්තේ ය. ඒකාසනිකාංගය, පත්තපිණ්ඩිකාංගය යන ධූතංග දෙක උපාසකෝපාසිකාවන්ට සුදුසු ධූතාංගයෝ ය.

ඒකාසනිකාංගය


ඒකාසනිකාංගය යනු දිනකට එක්වරක් පමණක් ආහාර වැළඳීමේ ප්‍ර‍තිපත්තියය. එය සමාදන් විය යුත්තේ “නානාසන භෝජනං පටික්ඛිපාමි, ඒකාසනිකංගං සමාදියාමි” යන වැකිය තුන්වරක් කීමෙනි. එහි තේරුම: නොයෙක් වර හිඳ ආහාර වැළඳීම අත් හරිමි, එක් වරක් හිඳ වැළඳීම නමැති ධූත ගුණය සමාදන් වෙමි” යි යනුයි. මෙය සමාදන් වූවහු විසින් ආහාර ගැනීමට හිඳගත් කල්හි දවසට ම සෑහෙන්න ආහාර වැළඳිය යුතු ය. වළඳා හෝ වළඳන අතර අසුනෙන් නැගිට්ට හොත් නැවත ආහාර නො වැළඳිය යුතු ය. එදින නැවත ආහාරයක් වැළඳුව හොත් ධූතාංගය බිඳේ. ගිලන් පස වැළඳීමෙන් වරදක් නැත.

පත්තපිණ්ඩිකාංගය


පත්තපිණ්ඩිකාංගය යනු නොයෙක් භාජනවල නො වළඳා එකම භාජනයක වැළඳීම වූ ධූතගුණය ය. එය “දුතියක භාජනං පටික්ඛිපාමි, පත්ත පිණ්ඩිකංගං සමාදියාමි” යන වැකිය තුන්වරක් කියා සමාදන් විය යුතු ය. එය සමාදන් වූවහු විසින් ආහාර සියල්ල එක භාජනයකට ගෙන වැළඳිය යුතු ය. මිශ්‍ර‍ වූ කල්හි වැළඳීම දුෂ්කර වන කිරි කැවිලි පලතුරු සුප් කැඳ යන මේවා ඒ භාජනයට ම වරින් වර ගෙන වැළඳිය යුතු ය. අන් බඳුනක වැළඳුව හොත් ධූතංගය බිඳේ. වතුර හා ගිලන්පස අන් භාජනවල වැළඳිය හැකි ය.
ඒකාසනිකාංගය - පත්තපිණ්ඩිකාංගය යන මේ ධූතාංග දෙක එක විට සමාදන්ව එක විට ම රැකිය හැකිය. දවසට ම සෑහෙන ආහාර එක් භාජනයකට ගෙන එක් තැනක හිඳ එක් වතාවක දී ම වළඳා අවසන් කිරීමෙන් ධූතාංග දෙකම රැකේ. ධුතාංග සමාදන් විය යුත්තේ උදයේ කිසි ආහාරයක් නො ගෙන ය. ධුතාංග සමාදන් වූවන්ට පෙරවරු කාලයේදී ද ඇල්වතුර උණු වතුර හා ගිලන්පස ගැනීම වරද නැත. 11 ට පමණ දවල් දානය ගැනීම හොඳ ය.
තමා උපාසකවරුන් අතර විශේෂ පුද්ගලයකු වීමේ අදහසින් ධූතාංග සමාදන් නොවිය යුතු ය. තමා ධූතාංග සමාදන් වී සිටින බව ද සෙස්සන්ට නො කිය යුතු ය. උදයේ ආහාර වැළඳීමට අනිකකු ආරාධනා කළහොත් ධූතාංග සමාදන් වී සිටිනා බව නො කියා ප්‍ර‍තික්ෂේප කළ යුතු ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

No comments:

Post a Comment

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...