💫 මහා බෝධිසත්ත්වයන් ගේ අද්ධ්‍යාශය සය 💫
නෙක්ඛම්මජ්ඣාසය ය, පවිවේකජ්ඣාසය ය, අලෝහජ්ඣාසය ය අදෝසජ්ඣාසය ය, අමෝහජ්ඣාසය ය, නිස්සරණජ්ඣාසය ය යන මේ සදෙන මහාබෝධි සත්ත්වාධ්‍යාශයයෝ ය. ගස්වල ස්ථීර පැවැත්මට ඒවායේ අරටුව උපකාර වන්නාක් මෙන් ම මහ බෝසත්නට බෝධිචර්‍ය්‍යාවෙහි ස්ථිර ව පිහිටා සිටීමට මේ අධ්‍යාශය ධාතු සය අතිශයින් උපකාර වේ. අරටුව නැති ගස මඳ සුළඟක් හැමූ විට බිඳ වැටෙන්නාක් මෙන් අධ්‍යාශය ධාතු නමැති හරය බෝසතුන් ගේ සන්තානයෙහි නො වේ නම් ඔවුහු කලෙක දී බෝධිචර්‍ය්‍යාවෙන් පහවන්නාහ. සම්බෝධිය දක්වා නොයන්නාහ.
නෙක්ඛම්මජ්ඣාසය යනු ගිහිගෙයින් බැහැර වීමේ අදහස ය. මහබෝසත්හු කාමයන් කෙරෙන් හෙවත් ගිහිගෙයින් නික්මෙන අදහස් ඇත්තෝ ය. ගිහිගෙයි විසීමේ දෝෂ දක්නෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ධාතුව නැමැති අරටුව ස්වසන්තානයෙහි ඇත්තා වූ මහ බෝසත්හු ගැඹුරු දියේ ගිල්වා බැඳ තිබූ සිදුරු නැති ලබු කැට වැනියහ. දිය යට තිබෙන සිදුරු නැති ලබු කැටයේ ස්වභාවය දියෙන් මතු වන බව ය. එය දිය යට පවත්නේ උඩට ඇදී ගෙන ම ය. බැම්මෙන් මිදුණු වහා ම එය ජලය මතුවට පැමිණෙන්නේ ය. එමෙන් නෛෂ්ක්‍රම්‍යධාතු සාරය අභ්‍යන්තරයෙහි ඇති ව ගිහි ගෙයි පස්කම් සැප විඳිමින් සිටින මහබෝසත්හු කරුණක් ඉදිරිපත් වූ වහා ම ධනය හැර අඹුදරුවන් හැර ඥාති මිත්‍රයන් හැර රජකම් පවා හැර පැවිදි වන්නාහ.
මහබෝසත් මහා ජනක රජතුමාට අඹගස් දෙක දැකීමෙන් රජය හැර පැවිදි විය හැකි වූයේ එතුමා කෙරෙහි නෛෂ්ක්‍රම්‍ය ධාතු සාරය තුබූ නිසා ය. නෛෂ්ක්‍රම්‍ය ධාතුව සන්තානයෙහි නැතියවුන්ට විශාල සම්පත්තීන් තබා රුපියලක් දෙකක් වටනා දෙයකුදු නො හළ හැකි ය. ඔවුහු ගැඹුරු දිය යට තිබෙන ගල්කැට වැනිය හ. දිය යට තිබෙන ගල්කැටය යටට ම බර වී තිබෙන්නාක් මෙන් ඔවුහු කාමයන්හි ම ගැලී සිටින්නාහ.
පවිවේකජ්ඣාසය යනු විවේක ගැනීමේ අදහස ය. විවේකයට කැමැත්ත ය. මහබෝසත්හු විවේක ගන්නා අදහස් ඇත්තෝ ය. පුත්‍රදාර ඥාතිමිත්‍රාදීන් පිරිවරා ගෙන ඔවුන් මැද වීසීමේ දොස් දක්නෝ ය. විවේකාධ්‍යාශ ධාතුව සන්තානයෙහි නැත්තා වූ පුත්‍රදාර ඥාතිමිත්‍රාදීන් පිරිවරාගෙන ඔවුන් හා ගැටි ගැටී සීටීමේ තෘෂ්ණාව ඇති තැනැත්තාහට පිරිසෙන් බැහැර ව නො විසිය හැකි ය. විවේකයට පැමිණියේ ද හේ ඒ තෘෂ්ණාවෙන් නැවතත් ඥාති මිත්‍රාදීන් කරා පමුණුවනු ලබන්නේ ය. විවේකයට සතුටක් ඔහුට නැත. විවේකය ඔහුට සිර ගෙයක් වැනිය.
මහාබෝසත්නට අරණ්‍ය - වෘක්ෂමූලාදියට පැමිණ පුත්‍රදාරා ඥාති-මිත්‍රාදීන්ගෙන් වෙන් ව එකලාව විසිය හැකි වන්නේ අභ්‍යන්තරයෙහි ඇති පවිවේකජ්ඣාසය ධාතුව නිසාය. සිරගෙයි ලා සිටින තැනැත්තා ඉන් පිට වුවහොත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු වහා සොයා නැවතත් සිරගෙයි හිඳුවන්නාක් මෙන් පවිවේකජ්ඣාසය ධාතු සාරය සන්තානයෙහි ඇති තැනැත්තා ජනයා අතරට පැමිණියේ ද ඒ පවිවේකජ්ඣාසය ධාතුවෙන් නැවත විවේකස්ථානයට ම ගෙන යනු ලබන්නේ ය.
අලෝභජ්ඣාසය යනු ලෝභයට ප්‍රතිපක්ෂ වූ අදහස ය. මහබෝසත්හු අලෝභාධ්‍යාශය ඇත්තෝ ය. ලෝභයේ දොස් දක්නෝ ය. සන්තානයෙහි අලෝභාධ්‍යාශ ධාතුව නැත්තා වූ තැනැත්තා හට ශතයක් දෙකක් වටනා දෙයක් පරිත්‍යාග කිරීමත් බර වැඩෙකි. අලෝභාධ්‍යාශය ඇති බැවින් මහ බෝසත්තනට පහසුවෙන් ම ධනය පරිත්‍යාග කළ හැකිය. රාජ්‍යයන් පරිත්‍යාග කළ හැකි ය. අඹුදරුවන් පරිත්‍යාග කළ හැකිය. ශරීරාවයවයන් පරිත්‍යාග කළ හැකිය. ජීවිතය ද පරිත්‍යාග කළ හැකි ය. අලෝභාධ්‍යාශ නැමැති ධාතු සාරය සන්තානයෙහි ඇති බෝසත්නට අමාරුව දන් දීම නො ව දන් නොදී විසීම ය.
අදෝසජ්ඣාසය යනු ද්වේෂයට ප්‍රතිපක්ෂ වූ අදහස ය. මහ බෝසත්හු අද්වේෂාධ්‍යාශය ඇත්තෝ ය. ද්වේෂයේ දොස් දක්නෝ ය. අද්වේෂාධ්‍යාශය නැත්තෝ සුළු කරුණකට ද තදින් කිපෙති. අද්වේෂාධ්‍යාශ ධාතුව සන්තානයෙහි පිහිටියා වූ මහ බෝසත්හු තමන් ගේ ජීවිතයට අනතුරු කරන්නා කෙරෙහි පවා නො කිපෙති.
අමෝහජ්ඣාසය යනු මෝහයට ප්‍රතිපක්‍ෂ වූ අදහස ය. මහ බෝසත්හු අමෝහාධ්‍යාශ ඇත්තෝ ය. මෝහයේ දෝෂ දක්නෝ ය. අමෝහාධ්‍යාශය ධාතුව සන්තානයෙහි නො පිහිටි සත්ත්වයනට හොඳ නරක කළ යුත්ත නො කළ යුත්ත දැන ගැනීමට දුෂ්කර ය. ස්කන්ධාදි ධර්මයන් ගේ තතු අනුන් කියනු ඇසුයේ ද ඔවුනට නො වැටහේ.
නිස්සරණජ්ඣාසය යනු සංසාර දුඃඛයෙන් මිදීමේ අදහස ය. මහබෝසත්හු නිශ්ශරණාද්ධ්‍යාශය ඇත්තෝය. භවයේ හෙවත් සංසාරයේ දොස් දක්නෝය, නිශ්ශරණාද්ධ්‍යාශය ධාතුව සන්තානයෙහි නො පිහිටි පුද්ගලයන් කෙරෙහි භව තණ්හාව තදින් පවතී. එයින් ඔවුනට විදර්ශනා භාවනාදී භවයෙන් මිදීමේ පිළිවෙත්හි යෙදීමට අවකාශ නො දෙනු ලැබේ. ඔවුහු භව සම්පත්තිය පතා සංසාරය දික් වන පින් කම් පමණක් කරති. තෘෂ්ණාවෙන් දූෂණය වන බැවින් ඔවුන්ගේ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො පැමිණෙති.
උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group
No comments:
Post a Comment