Sunday, 30 August 2020

💫 මානය💫

 💫 මානය💫

කෙසෙල් ගෙඩි ලෙල්ලක්, පොල් ලෙල්ලක් මෙන් අහක දැමිය යුත්තකු නොව, තමා ද ගත යුතු සැලකිය යුතු එක්තරා කෙනෙකැ යි තමා උසස් කොට ගන්නා ස්වභාවය මානය ය. උගත් කම් ධනවත් කම් සිල්වත් කම් කුලවත් කම් ආදියේ අනුග්‍ර‍හය ලත් කල්හි එය දියුණු වූ කොඩියක් මෙන් කොතක් මෙන් ජනයා අතර තමා මුදුන් කොට ගන්නා ස්වභාවයට පැමිණේ. එය උමතු කමක් වැනිය. ධනවත්කම් ආදිය නිසා එසේ වැඩුණු මානය ඇත්තෝ හිස උදුම්මා ගෙන කාහට වත් ගරු නො කරමින් කාගේවත් කීමක් නො පිළිගනිමින් අන්‍යයන්ට අවමන් කෙරෙමින් හැසිරෙති. මේ කියන ලදුයේ සෙය්‍යමානයා ගේ ආකාරය ය. මානය තමා ගේ තත්ත්වය මැන ගැනීමේ ලක්ෂණයෙන් සාමාන්‍යයෙන් එකක් වුව ද, සෙය්‍යමානය, සදිස මානය, හීන මානය යි ත්‍රිවිධ වේ. අන්‍යයන්ට වඩා තමා උසස් යයි ගැනීම සෙය්‍යමානය ය. උන්නති ලක්ෂණය ඇත්තේ එහි ය. අන්‍යයෝත් මිනිස්සු ය, මම ද මිනිසෙක්මි. අන්‍යයන්ට ඇත්තේ ද දෙපයක් හා දෑතකි. මට ඇත්තේ ද දෙපයක් හා දෑතකි. අන්‍යයන්ගේ හා මාගේ ඇති වෙනස කවරේ ද යනාදීන් අන්‍යයන් හා තමා සම කොට ගන්නා වූ ස්වභාවය සදිස මානය ය. මට අන්‍යයන්ට මෙන් ධනය නැත. නෑයන් නැත. උගත් කම් නැත යනාදීන් තමා පහත් කොට ගන්නා ස්වභාවය හීනමානය ය.

තවද සැබෑ මානය බොරු මානය යි ද මානය දෙවැදෑරුම් වේ. එය පොත්වල දැක්වෙන්නේ යථාවමාන අයථාවමාන යන නම්වලිනි. සත්‍ය වශයෙන් ඇත්තා වූ උසස් බව නිසා රාජ රාජ මහාමාත්‍යාදී උසස් අයට ඇති වන්නා වූ මානය සැබෑ මානය ය. සත්‍ය වශයෙන් උසස් බවක් නැති ව උසස් කම් ආරූඪ කරගෙන ඇති කර ගන්නා වූ මානය බොරු මානය ය. සදිසමාන හීනමානයන්හි ද ඒ භේදය ලැබෙන්නේ ය.

සෙය්‍යමාන සදිසමාන දෙක ගැන මිස හීනමානය ගැන බොහෝ දෙනාට දැනුමක් නැත. එබැවින් බොහෝ දෙනා හීනමානය නිහතමානී බව වූ ගුණය යයි වරදවා තේරුම් ගෙන සිටිති. සෙය්‍ය සදිස මාන දෙකටත් වඩා නපුරක්, වඩා පිරිහීමක් හීනමානය නිසා වේ. මේ මානයන් අතුරෙන් එක් අයකුට ඇත්තේ එකක් ම නො වේ. හැම මානය ම හැම දෙනාට ම ඇත්තේ ය. වෙනසකට ඇත්තේ ඒ ඒ පුද්ගලයන්ට ඇති මානයේ අඩු වැඩි කම පමණකි. දුප්පත් අපට කෙසේ උගත හැකි ද? කෙසේ දන් දිය හැකි ද? කෙසේ පවින් වැළකිය හැකි ද? සසර පුරුදු කර නැති අපට කෙසේ සිල් පිරිය හැකි ද? භාවනා කොට කෙසේ ධ්‍යානාදිය ඉපද විය හැකි ද? වාසනාව නැති අපට කෙසේ උසස් විය හැකි ද? ධනවත් විය හැකි ද? යනාදීන් හීනමානය ඇත්තෝ තමන් ගේ දෙ ලොව යහපත පිණිස කළ යුතු සියල්ල ම හැර හැකිළී සිට දෙලොවින් ම පිරිහෙති.


උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 දිට්ඨිය💫

 💫 දිට්ඨිය💫

දිට්ඨිය යන වචනය සම්‍යග්දෘෂ්ටි මිථ්‍යාදෘෂ්ටි දෙකට ම සාධාරණ වුව ද මේ අකුශල චෛතසික කථාවෙහි එයින් අදහස් කරනුයේ මිථ්‍යාදෘෂ්ටිය ය. නොයෙක් හේතු යුක්තිවලට අනුව කාරණය සත්‍ය වශයෙන් ප්‍ර‍ඥාවෙන් හෙවත් සම්‍යග්දෘෂ්ටියෙන් දක්නාක් මෙන් වරදවා ගන්නා ලද දක්නා ලද හේතු යුක්තිවලට අනුව කාරණය වරදවා ගන්නා වූ වරදවා දක්නා වූ ස්වභාවය දෘෂ්ටිය ය. එය දෘෂ්ටි ගතිකයනට පෙනෙන්නේ ප්‍ර‍ඥාව හෙවත් සම්‍යග්දෘෂ්ටිය ලෙසට ය. එබැවින් ඔවුහු සම්‍යග්දෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටියක් වශයෙන් ගනිති. වරදවා දැකීම් වශයෙන් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් වුව ද ගන්නා වූ ආකාරයන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වේ. ශාශ්වත දෘෂ්ටිය ය, උච්ඡේද දෘෂ්ටියය යන දෙක ප්‍ර‍ධාන දෘෂ්ටි දෙක ය. තවත් ඇත්තා වූ බොහෝ දෘෂ්ටීහු ඒ දෙකින් ලියලා යන දෘෂ්ටීහු ය. දෘෂ්ටීන් බොහෝවක් ශාශ්වත දෘෂ්ටියෙන් ම ලියලූ ඒවා ය. නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රිය දෘෂ්ටිය යි කර්ම පථ බවට පැමිණෙන දෘෂ්ටි තුනෙකි. දන් දීමෙන් පලක් නැත යනාදීන් පවත්නා වූ නාස්තික දෘෂ්ටියේ ම ප්‍රභේද වූ දෘෂ්ටි දශයෙකි. එයට දශවස්තුක මිථ්‍යාදෘෂ්ටිය යි කියනු ලැබේ. සත්කායදෘෂ්ටි විස්සෙකි. බ්‍ර‍හ්මජාලයෙහි දැක්වෙන දෘෂ්ටි දෙසැටකි.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 ලෝභය💫

 💫 ලෝභය💫

ආරම්මණය ආශ්වාදනීය දෙයක් වශයෙන් ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභය ය. ප්‍රාර්ථනාවය, ප්‍රේමයය, ආලයය, ආදරයය, ඕනෑකමය, ලොල් බවය, ගිජුබවය යනාදි නම්වලින් කියැවෙන්නේ ද ලෝභය ම ය. අඹුදරු ආදීන් කෙරෙහි පවත්නා ලෝභයට සමහර විට මෛත්‍රිය, කරුණාව යන නම් ද ධර්ම විභාග නො දන්නෝ කියති. පැවිද්දන් සම්බන්ධයෙන් පවත්නා ලෝභයට ශ්‍ර‍ද්ධාව යයි ද සමහරු කියති. මේ ලෝභය මාගේ ය, මාගේ යයි ආරම්මණයන් අල්ලා ගන්නා ස්වභාවයෙන් මක්කටාලේපය වැනිය. මක්කටාලේපය යනු වඳුරන් ඇල්ලීම පිණිස ගස්වල තබන තද ලාටු වර්ගයකි. එහි සැපුනු වඳුරාට යන්නට නො දී ඒ ලාටුවෙන් අල්ලා ගනු ලබන්නේය. එමෙන් ලෝභය ද මාගේ භාර්‍ය්‍යාවය, මාගේ හිමියා ය, මාගේ දරුවා ය, මාගේ ගෙය ය, මාගේ වත්තය, මාගේ කුඹුරය යනාදීන් හසු වූ දෙය තදින් අල්ලා ගන්නේය. ආරම්මණයෙහි එල්ලෙන ස්වභාවයෙන් ලෝභය රත් වූ කබලෙහි ලූ මස් කැබෙල්ලක් බඳු ය. රත් වූ කබලෙහි ලූ මස් කැබෙල්ල දැවි දැවී එහි ම ඇලෙන්නාක් මෙන් ලෝභය භාර්‍ය්‍යාවක් ඕනෑය, හිමියකු ඕනෑය, දරුවන් ඕනෑය, මිල මුදල් ඕනෑය, ඇඳුම් පැළඳුම් ඕනෑය යනාදීන් කාමනීය වස්තූන්හි එල්ලෙන්නේය. තෙල් සායම වස්ත්‍රාදි යමක තැවරුණ හොත් පහ කිරීමට ඉතා දුෂ්කරය. කොතෙක් සේදුව ද එය නො යයි. ලෝභය ද අල්ලා ගත් දෙය ලෙහෙසියෙන් නො හරනා බැවින් තෙල් සායමක් බඳුය. දිගින් දිගට යන ස්වභාවයෙන් එය ඟගක් වැනිය. ආරම්මණයෙහි වෙළෙන්නා වූ ස්වභාවයෙන් වැලක් බඳු ය. නො ලැබූ දෑ සෙවීම පිළිබඳ ලෝභයය, ලැබූ දෑ අයත් කර ගෙන සිටීම පිළිබඳ ලෝභයය, විෂය රස විඳීම පිළිබඳ ලෝභයය යි පවත්නාකාරයන්ගේ වශයෙන් ලෝභය තුන් ආකාර බව කිව යුතු ය. මෙය තවත් නොයෙක් ක්‍ර‍මවලින් විභාග කර දක්වා තිබේ.


උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

Thursday, 27 August 2020

💫 උද්ධච්චය💫

 💫 උද්ධච්චය💫

බිම දැමූ කල්හි අමු මැටි ගුලිය පොළව බදා ගෙන නිශ්චල ව සිටී. බිම ලූ රබර් බෝලය එසේ නිශ්චල ව නොසිට සැලි සැලී සිටී. සිත් අතරින් ද ඇතැම් සිතක් බිම ලූ අමු මැටි ගුලිය සේ අරමුණෙහි නිශ්චලව සිටී. ඇතැම් සිතක් බිම ලූ රබර් බෝලය මෙන් ආරම්මණයෙහි සැලෙමින් පවතී. ආරම්මණයෙහි නො සැලෙන සිත්වල ඒ ස්ථිර භාවය සිදු කරන්නේ සමාධිය යි කියනු ලබන ඒකග්ගතා චෛතසිකයෙනි. සැලෙන සිතෙහි සැලීම සිදු කරනුයේ උද්ධච්චයෙනි. සිතෙහි සැලෙන ස්වභාවය හෙවත් උඩ පනින ස්වභාවය උද්ධච්චය ය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් සිත සොලවන ස්වභාවය උද්ධච්චය යි කිය යුතුය. අරූප ධර්මයෝ රූප ධර්මයන් මෙන් සැලෙන්නාහු නො වෙති. මෙහි සැලීමය යි කියනුයේ මැනවින් ආරම්මණයෙහි නො පිහිටන බවය.

ක්ලේශයෝ වනාහි සම්ප්‍ර‍යුක්ත ධර්ම සහිත වූ සිත ද සිතේ නිඃශ්‍ර‍ය වස්තුව ද ශරීරය ද දවන තවන ස්වභාවයෝ ය. තද වේදනාවකින් පෙළෙන තැනැත්තාට නිශ්චලව නො සිටිය හැකිය. දැඟලීම ඔහුට පිහිටකි. එබැවින් හේ දඟලයි. එමෙන් කෙලෙසුන් විසින් දවන තවන පෙළන චිත්තයට ද නිශ්චලව නො පැවතිය හැකි ය. ඒ සිතට දැඟලීම වුවමනා ම ය. එබැවින් කෙලෙස් සහිත වූ අකුශල සිත් සිය්ලලෙහි ම චිත්තාංගයක් වශයෙන් උද්ධච්චය ඇත්තේ ය. දොළොස් වන අකුශල චිත්තය බලවත් වූ මෝහය කරණකොට ගෙන අතිශයින් මුළා වූ චිත්තයක් වන බැවින් එය අධිකව ම සැලෙයි. එබැවින් තථාගතයන් වහන්සේ විසින් සෙසු අකුශල චිත්තයන්හි උද්ධච්චය යේවාපනක වශයෙන් වදාරා අන්තිම චිත්තයේ දී ම ස්වරූප වශයෙන් වදාරන ලද්දේ ය.

සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් වූ ඒකාග්‍ර‍තාව අකුශල් සිත් සියල්ලෙහි ම ලැබෙන්නේ ය. සිටීම හා යෑම මෙන් ඔවුනොවුන්ට ප්‍ර‍තිපක්ෂ වූ ඒකාග්‍ර‍තා ඖද්ධත්‍ය දෙක අකුශල චිත්තයන්හි එකවර ලැබිය හැක්කේ කෙසේද යන ප්‍ර‍ශ්නය විසඳා ගත යුතු ය. ඒකාග්‍ර‍තා ඖද්ධත්‍ය දෙක ම ලැබෙන සිත්හි පැවැත්ම ගැස්සෙන කරත්තයක වාඩි වී සිටින්නකු මෙන් දත යුතු ය. ගැස්සෙන කරත්තයේ වාඩි වී සිටින තැනැත්තා කරත්තයේ පිහිටා ද සිටී. කරත්තය ගැස්සෙන සැටියට ගැස්සෙන්නේ ද වේ. එමෙන් ඒකාග්‍ර‍තා ඖද්ධත්‍ය සම්ප්‍ර‍යුක්ත චිත්තය ඒකාග්‍ර‍තාවගේ වශයෙන් ආරම්මණයේ පිහිටා සිටිමින් ඖද්ධත්‍යයාගේ වශයෙන් සැලෙන්නේ ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 අනොත්තප්පය💫

💫 අනොත්තප්පය💫

ආපායික දුඃඛාදි අනේක දුඃඛයන් ඇති කරන්නක් බැවින් අකුශලය බිය විය යුත්තකි. යන්නවුනට විපත් සිදුවන භය ජනක තැනකට යා හැකි වන්නේ එයට පිහිට කර ගත හැකි බලයක් ඇති කල්හිය. පිහිටක් නැතිව එතැනට නො යා හැකිය. එමෙන් බිය විය යුතු වූ අකුශලය පැකිළීමක් පසු බැස්මක් නැති ව එඩිතරව කළ හැකි වීමට හෙවත් සන්තානයෙහි අකුශල චිත්තයනට ඉපදීමට ඉඩ දිය හැකි වීමට බිය දුරු කරන බලයක් තිබිය යුතුය. එසේ නැතිව අකුශලය නො කළ හැකිය. සන්තානයෙහි අකුශල චිත්තයට ඉපදීමට ඉඩ නොදිය හැකිය. බිය දුරු කරන්නා වූ බලයක් සෑම අකුශල චිත්තයක ම ඇත්තේ ය. සත්ත්වයන් බියක් නැතිව එඩිතර ව අකුශලය කරන්නේ සන්තානයෙහි අකුශල චිත්තයනට ඉපදෙන්නට ඉඩ දෙන්නේ, අකුශල චිත්තයන්ට ඉපදිය හැකි වන්නේ ඒ බලයේ අනුග්‍ර‍හයෙනි. අනොත්තප්පය යි කියනුයේ ඒ බලයට ය. අනොත්තප්ප යන වචනයේ තේරුම පවට බිය නොවන ස්වභාවය යනුයි. පාපධර්මයක් වූ ඒ බලය අඥයෝ උසස් කොට සලකති. තමන් තුළ ඇති ඒ බලය ගැන තුමූ ම ආඩම්බර වෙති. අහිරිකය අනොත්තප්පය යන දෙක අකුශල පක්ෂයේ මහා බල දෙක ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

Monday, 24 August 2020

💫 අහිරිකය💫

 💫 අහිරිකය💫

සත්ත්වයාගේ ප්‍ර‍කෘති චිත්තය වූ භවාංග චිත්තය පවිත්‍ර‍ය. ලෝභාදි කෙලෙසුන් ගෙන් යුක්ත වූ අකුසල් සිත කෙලෙසුන් විසින් දූෂිත බැවින් අපවිත්‍ර‍ ය. අනිෂ්ට විපාක දායක චේතනා සහිත වූ කෙලෙසුන් ගෙන් අපවිත්‍ර‍ වූ අකුශලය පිළිකුල් කළ යුතු දෙයකි. මිනිසුන්ට පිළිකුල් වූ අසූචිය සූකරයාට සුනඛයාට අනුභව කළ හැක්කේ එහි අපවිත්‍ර‍තාව ඉවසිය හැකි ස්වභාවයක්, එහි ගන්ධය ඉවසිය හැකි ස්වභාවයක් ඒ සතුන්ට ඇති බැවිනි. එබඳු ස්වභාවයක් නැති මිනිසාට එය නො කෑ හැකිය. එහි ගන්ධය නො ඉවසිය හැකි ය. සූකරයාට සුනඛයාට තිබෙන ඒ බලය බඳු බලයක් නොමැති නම් පවිත්‍ර‍ ප්‍ර‍කෘති චිත්තය ඇති සත්ත්වයනට එහි අපවිත්‍ර‍ වූ කෙලෙස් සහිත චිත්තයන් ගේ පහළ වීම නො ඉවසිය හැකිය. එය සත්ත්වයනට ඉවසිය හැකි වන්නේ අකුශල ක්‍රියා සිදු කිරීම් වශයෙන් උපදනා චිත්තයන්හි එබඳු බලයක් ඇති නිසාය. අහිරික චෛතසිකය යි කියනුයේ ඒ බලයට ය. එය පාපය පිළිකුල් කරන ස්වභාවය වූ හිරියට විරුද්ධ ධර්මයකි. එය නොමැතිව අකුශල සිතකට නූපදිය හැකි බැවින් සැම අකුශල චිත්තයක ම එය ලැබේ.

උපු‍ටා ගැනීම : ධර්ම ග්‍රන්ථ Whatsapp එකමුතුව

💫 මෝහය💫

 💫 මෝහය💫

සිතට ආරම්මණයේ ඇති සැටිය හසු කර ගත නොහෙන සැටියට, යම් කිසි කරුණක සැබෑ ආකාරය හසු කර ගත නොහෙන සැටියට ආවරණය කරන්නා වූ, කාරණය වරදවන්නා වූ ධර්මය මෝහය ය. එය සිතට ආරම්මණයාගේ සැබෑ තත්ත්වය වසන්නේ කාරණය වරද වන්නේ අන් තැනක සිට ගෙන නොව සිතේ ම සිට ගෙන ය. එබැවින් එය සිතේ රෝගයකි. එය ඇස වසන පටලයක් වැනි යයි ද, අඳුරක් වැනි යැයි ද, කීමට වටනේය. මෝහයෙන් සිතට කාරණය වරදවන බැවින් මේ සත්ත්වයනට සකල දුඃඛයන්ගේ ම පැවැත්මට ස්ථාන වූ පඤ්චස්කන්ධය නපුරක් සැටියට නොව සොඳ දෙයක් මිහිරක් සැටියට පෙනේ. ඒ දුක් ඇති වීමේ හේතුව වූ තෘෂ්ණාව සැපයේ හේතුවක් සේ පෙනේ. සත්‍ය වූ සුඛය නපුරක් සැටියට පෙනේ. දුකින් මිදීමේ ප්‍ර‍තිපදාව නපුරක් සැටියට පෙනේ. එබැවින් මේ මෝහය නිසා සත්ත්වයෝ හොඳ මඟ නො යෙති. නො මඟ යෙති. මේ මෝහය නොයෙක් විට පවත්නේ ප්‍ර‍ඥාවගේ මුහුණුවරිනි. එබැවින් සත්ත්වයෝ මෝහය වැඩි වැඩි තරමට තුමූ පණ්ඩිතයයි සිතති. අකුශල ක්‍රියාවන්හි උපාය චින්තක වශයෙන් පවත්නා කල්හි එය විශේෂයෙන් ම ප්‍ර‍ඥා රූපය ගන්නේය. මිථ්‍යා ඥානයයි කියනුයේ ඒ මෝහයට ය. මෝහය, ලෝභය, දෘෂ්ටිය, විතර්කය, විචාරය, චිත්තය යන මේ ධර්මයෝ සදෙන අකුශල පක්ෂයෙහි ඥානය මෙන් පවත්නාහ. ප්‍ර‍කෘතියෙන් නුවණ ඇත්තා වූ උගත් ජනයා කෙරෙහි උපදනා වූ ඒ ධර්මයෝ ඔවුන් නොයෙක් උපාය යොදා පව් කිරීමෙහි සමතුන් කෙරෙති. පව් කිරීමෙහි දක්ෂයන් බවට පමුණුවති. ආදීනව බොහෝ බැවින් අකුශලය නො කළ යුත්තකි. මේ සත්ත්වයනට අනේකාදීනවයෙන් යුක්ත වූ ඒ අකුශලය පැකිළීමක් පසු බැසීමක් නැති ව මිහිරි දෙයක් වශයෙන් එඩිතරව කළ හැකි වන්නේ එහි ආදීනවය අකුශල චිත්තයට නො ගත හැකි පරිද්දෙන් වසන මෝහය නිසාය. මෝහයෙන් තොරව අකුශල චිත්තයක් නූපදී. මෝහය හැම අකුශල චිත්තයක ම ලැබෙන්නේ ය.

උපු‍ටා ගැනීම : ධර්ම ග්‍රන්ථ Whatsapp එකමුතුව

💫 විපාක චිත්තය💫

 💫 විපාක චිත්තය💫

කුශල වූ හෝ අකුශල වූ හෝ අතීතයෙහි උපන්නා වූ ජවනයක් නිසා ඒ සන්තානයෙහි අනාගතයෙහි පහළ වන්නා වූ ක්‍රියා සාධනය නො කරන්නා වූ මන්ද වේගය ඇත්තා වූ චිත්තයෝ විපාකයෝ ය.
වී ඇටයක් රෝපණය කළ කල්හි එයින් ගොයම් ගසක් පහළ වේ. වී ඇටය ක්‍ර‍මයෙන් දිරා අභාවයට පැමිණෙයි. එහෙත් අනාගතයෙහි වී ඇට ඇති වීමට හේතුවන එක්තරා ශක්ති විශේෂයක් වී ඇටයේ පරම්පරාව වූ ගොයම් ගස හා සම්බන්ධ වී ඉතිරි ව පවතී. ගොයම් ගසේ ඇට හට ගන්නා කාලය පැමිණි කල්හි එහි අන් ඇට වර්ගයක් පහළ නොවී වී ඇට ම පහළ වන්නේ ගොයම් ගස හා බැඳී පළමු රෝපනය කළ බීජයෙන් ඉතිරි වී තිබුණු ඒ ශක්ති විශේෂය නිසා ය. ගොයම් ගසෙහි හටගන්නා ඒ ඇට රෝපනය කළ වී ඇටයේ ඵලයෝ ය. එමෙන් කුශලාකුශල ජවන චිත්තයක් පහළ වූ කල්හි එය නිරුද්ධ වූ පසු ඒ චිත්ත පරම්පරාව හා සම්බන්ධ වී අනාගතයෙහි ඵල හෙවත් විපාක සිත් ඇති කිරීමේ ශක්තියක් ඉතිරි වේ.

“න හි පාපං කතං කම්මං - සජ්ජු ඛීරං ව මුච්චති,
ඩහන්තං බාලමන්වෙති - භස්මච්ඡන්නේ ව පාවකො”

යනුවෙන් “පාප කර්මය අලුයෙන් වැසුණු ගිනි අඟුරු මෙන් බාලයා අනුව යන්නේය” යි බුදුන් වහන්සේ විසින් වදාළේ ජවන චිත්තය නිරුද්ධ වූ පසු සන්තානයෙහි ඉතිරි වන්නා වූ ශක්ති විශේෂය සඳහා ය. ගොයම් ගස හා බැඳී පවත්නා වූ බීජ ශක්තිය අනුක්‍ර‍මයෙන් මේරීමෙන් ගොයම් ගසෙහි නැවත වී ඇට පහළ වන්නාක් මෙන් චිත්ත සන්තානය හා බැඳී ඉතිරි ව පවත්නා වූ කුශලාකුශල ශක්තිය මේරීමට පැමිණීම් වශයෙන් ඒ සන්තානයෙහි ඒවාට අනුකූල වූ චිත්ත චෛතසික ධර්ම පිණ්ඩයෝ පහළ වෙති. “පාක” යනු මේරීමට පැසීමට නමෙකි. අතීත කුශලාකුශල ජවනයන්ගෙන් ඉතිරි වූ ශක්ති විශේෂය මේරීම් වශයෙන් පහළ වන බැවින් එසේ පහළ වන චිත්ත චෛතසික පිණ්ඩයන්ට “පාක” යන නම කියනු ලැබේ. කුශලාකුශල දෙක ස්වභාව වශයෙන් ඔවුනොවුන්ට විරුද්ධ ය. විපාක යන මෙහි “වි” යන්නෙන් කියැවෙන්නේ අන්‍යොන්‍ය විරුද්ධ වූ කුශලාකුශලයෝ ය. ඒවායේ මේරීම් වශයෙන් පහළ වූ ධර්මයෝ විපාකයෝ ය. ධර්ම වශයෙන් නො දැක්විය හැකි දැක්වීමට ලකුණක් නැති චිත්ත පරම්පරාව හා සම්බන්ධව පවත්නා වූ ශක්ති විශේෂය කුශලාකුශල ජවනයාගේ එක්තරා අවස්ථාවකි. විපාක චිත්තය එහි තවත් අවස්ථාවකි. ගොයම් ගස හා බැඳී පවත්නා බීජ ශක්තිය වී ඇට ඇති වීමෙන් කෙලවර වේ. එයින් නැවත නැවතත් ඵල හට ගැනීමක් නො වේ. එමෙන් ජවනයෙන් ශේෂ වන ශක්ති විශේෂය ද පැසීමට පැමිණීම් වශයෙන් නැවත සිත් බවට පැමිණීමෙන් කෙළවර වේ. විපාක යන නාමය චිත්ත චෛතසිකයන්ට මුත් අනෙකකට නො කියනු ලැබේ.
උත්සාහවත් බව හා අශාන්ත බවත් අනිෂ්ට විපාක ඇති කරන බවත් අකුශලයන් ගේ ලක්ෂණයෝ ය. උත්සාහවත් බව හා ශාන්ත බවත් ඉෂ්ට විපාකය ඇති කරන බවත් කුශලයන්ගේ ලක්ෂණයෝ ය. නිරුත්සාහ භාවය ශාන්ත භාවය ද විපාකයක් ඇති නො කරන බව ද විපාකයන් ගේ ලක්ෂණයෝ ය. උත්සාහවත් බව හා ශාන්ත බව ද විපාක නො දෙන බව ද ක්‍රියා චිත්තයන් ගේ ලක්ෂණයෝ ය.
මෙතෙකින් චිත්ත විස්තරය නිමියේ ය.

උපු‍ටා ගැනීම : ධර්ම ග්‍රන්ථ Whatsapp එකමුතුව

Sunday, 23 August 2020

දාන වස්තු 10 කුමක්දැයි සොයා දන් දෙන්න. මෙම ලිපිය තවම සම්පූර්ණ නැත. නමුත් තිබෙන ධර්ම කරුණු ඔබව සම්පූර්ණ කරන්නට සමත් වේවයි පතමි.

සීලය අනුව ඉපදෙන තැන තීරණය වෙන අතර දානය අනුව ලබන/ පරිභෝග කරන්නට ලැබෙන සම්පත් තීරණය වේ. සැපය තීරණය වේ.

ප්‍රඥ්ඥාව පිණිස - සුවඳ පූජා කරන්න

ධාරණ ශක්තිය - පාත්‍රා ආධාරක පූජා කිරීම / රත් වූ පාත්‍රය අල්ලගන්න පහසු කිරීමට කුජ්ජුත්තරා උපාසිකාව පෙර භවයක තම රන් වළලු 08 ක් සංඝරත්නයට පූජා කරන ලදි.

මිරිවැඩි සඟල් පූජා කිරීම. 

සංඝයා වහන්සේලා ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය ආදී ගුණයෙන් යුක්තයි කියලා සිතේ බලවත් ප්‍රසාදයෙන් තමයි සෙරෙප්පු දෙක පූජා කළේ. ඊටපස්සේ පින්වතුනි මෙයා ප්‍රාර්ථනාවක් සමගින් සෙරෙප්පු දෙකට කථා කළා මෙහෙම " එම්බා මිරිවැඩි සඟල උඹ මාව මේ ඉපදෙමින් මැරෙමින් සතර අපාය නිවස කරගෙන අනන්ත දුක් විඳිමින් අවසානයක් නොදැක යන මේ සන්සාරයෙන් එතෙර කරවපන්" කියලා.

පින්වතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප අනූඑකකට කලින් ඈත අතීතයේ. ඒ කාලේ වාසනාවන්ත කාලයක් හේතුව තමයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයට කෙළෙස් සංසිඳවන විශේෂ නුවණ ලබා දෙන ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ව ඒ වගේම පිරිනිවන් පාන්නට උපකාරී වන සන්දිට්ඨික ආදී අනන්ත ගුණ ඇති ලස්සන ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් වැඩ සිටියා. ඉතින් උන්වහන්සේට හිටියා " චන්දන" කියලා පුත් රුවනක්. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක්. මේ චන්දන කියන ස්වාමීන් වහන්සේට එක්තරා කෙනෙක් දවසක් දා සෙරෙප්පු දෙකක් ගෙනල්ලා පූජා කෙරුවා. නිකං ම නෙවෙයි පූජා කෙරුවේ. හොඳට හිත පහදවා ගෙන. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි සිත පහදවා ගත්තේ. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි. ඒ කියන්නේ උන් වහන්සේලා රාග ද්වේශ මෝහ නැති කරපු උදවිය සහ රාග ද්වේශ මෝහ නැති කරමින් ඉන්න උතුමන්. ඊළඟට උන්වහන්සේලා උජුපටිපන්නයි. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන නිවන් මගට බැස ගත් උතුමන්. ඊළඟට උන්වහන්සේලා ඤායපටිපන්නයි. ඒ කියන්නේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ජීවිතය කැප කළ පිරිසකි. ඊළඟට සාමීචිපටිපන්නයි. පින්වතුනේ මේ ගුණයෙන් තමයි ගිහි පැවිදි ශ්‍රාවක පිරිස එකිනෙකාට සංග්‍රහ කර ගන්නේ. ඒ පැවිදි උතුමන් බුදු රජාණන් වහන්සේගේ ධර්මය බෙදා දෙනවා. ගිහි ඇත්තන් උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ පිළිබඳව සඳහන් වන ලස්සන සූත්‍රයක් තියෙනවා ( ගිහිසාමීචිපටිපදා) කියලා අංගුත්තර නිකායේ ඒ උතුම් සූත්‍රය කියවලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ ගුණ නිසාම උන්වහන්සේලා ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය ආදී ගුණයෙන් යුක්තයි කියලා සිතේ බලවත් ප්‍රසාදයෙන් තමයි සෙරෙප්පු දෙක පූජා කළේ. ඊටපස්සේ පින්වතුනි මෙයා ප්‍රාර්ථනාවක් සමගින් සෙරෙප්පු දෙකට කථා කළා මෙහෙම " එම්බා මිරිවැඩි සඟල උඹ මාව මේ ඉපදෙමින් මැරෙමින් සතර අපාය නිවස කරගෙන අනන්ත දුක් විඳිමින් අවසානයක් නොදැක යන මේ සන්සාරයෙන් එතෙර කරවපන්" කියලා.
පින්වතුනි එදා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ස්වාමීන් වහන්සේ නමකට පාවහන් සඟලක් පූජා කරලා මරණින් පසු දෙව්ලොව ඉපදුනා. ඊටපස්සේ ගෞතම බුද්ධ ශාසනය තෙක් අපායේ ගියේ නෑ දෙව් ලොවින් මිනිස් ලොවට මනුස්ස ලෝකයෙන් දෙව් ලොවට ආදී වශයෙන් සුගතියේම ඉපදුනා. මනුස්ස ලෝකයේ සක්විති රජකම පවා ලැබුණා. ඉතින් ඒ විදියට සංසාරේ බොහෝ සැප සම්පත් විඳිමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා බුදු බණ අහල මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. උන්වහන්සේ තමයි" උපාහනදායක" මහරහතන් වහන්සේ. සාදු සාදු උන්වහන්සේට නමස්කාර වේවා. පින්වතුනේ දවසක් දා උන්වහන්සේ සමාධියට සමවැදී පුබ්බේනිවාස කියන ඥානයෙන් බැලුවා තමන්ට රහත් වෙන්නට පෙර කරපු පින්කම මොකක්ද කියලා එතකොට තමයි දැක්කේ කල්ප අනූ එකකට කලින් තමන් කරපු මෙම පාවහන් පූජාමය පිංකම. බලන්න පින්වතුනි පිනමයි ජීවිතයේ සැප ගෙන දෙන්නේ. පිනමයි සසරින් එතෙර වීමට පසුබිම සකස් කරන්නෙත්. එනිසා ඔබටත් බොහෝ පින් කරගෙන ඉක්මනින් සසරින් එතෙර වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.




01. සිවුරු – වස්ත්ර දානයේ අනුසස්

දස්සානි සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභොමි
කම්මානුච්ඡවිකේ මම

ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දිනකට දහස බැගින් දිනපතා සියක් දිනක් පුරා දන් දීමේදී සෑම භික්ෂූන් වහන්සේ නමකටම චීවර සඳහා වස්ත්ර පූජා කෙළෙමි. ඒ පිනේ බලයෙන් උපනුපන් ආත්මභාවයන්හිදී ආනිශංස අටක් ඒ කුශල කර්මයට අනුරූපව මට ලැබුණේය.

සුවණ්ණ වණ්ණෝ විරජෝ
සප්පහාසෝ පතාපවා
සිනිද්ධං හෝති මේ ගත්තං
භවේ සංසරතෝ මම

උපනුපන් ආත්මභාවයන්හිදී රන්වන් පාටින් යුත් ශරීර ඇත්තෙක් වීමි. ප්රතාපවත් වූ ද සිත් පිනවන පි්තරයශීලී ස්වරූපයකින් යුක්ත වූ ද ශරීර ලැබීමි. එනිසාම හැම තැනකදී ම ජනාදරයට පත්වූ පුද්ගලයෙක් වීමි.

දුස්සසතසහස්සානි
සේතා පීතා ච ලෝභිතා
ධාරෙන්ති මත්ථකේ මය්හං
දුස්සදානස්සිංද ඵලං

භවයෙහි උපත ලද සෑම ආත්මභාවයකදී ම වර්ණවත් විවිධ පාටින් යුත් අගනා වස්ත්ර ලක්ෂ ගණනින් මට ලැබෙන්නට විය. එයින් ප්රමාණවත් පරිදි මම ද පරිහරණය කරමින් අඹුදරු ඥාති මිත්රාදීන්ට අගහිඟකම් ඇති අයට ද පරිත්යාග කෙළෙමි. එයින් මා ලද මානසික සහනය කියා නිම් හිම් කළ නොහැකි තරම් ය.

02. සැරයටි, කිහිලිකරු, රෝද පුටු පූජා කිරීමේ අනුසස් හය

පුත්තා මය්හං බහු හොන්තී – තාසෝ මය්හං න විජ්ජති
අප්පසය්හෝ සදා හෝමි – සබ්බාරක්ඛේහි රක්ඛිතෝ
ඛලිතම්පි න ජානාමි – අහන්තං මානසං මම

1. සෑම ආත්මභාවයකදීම යහපත් කීකරු දරුවන් ලැබීම.
2. කවර කරුණක් නිසාවත් තැතිගැනිමක් ඇති නොවීම.
3. සතුරන් විසින් සිදුකරනු ලබන විපත්තිවලින් වුවද තමන්ට හොඳක්ම වීම.
4. පින විසින් ම තමා ආරක්ෂා කිරීම.
5. තමන්ගෙන් තව කෙනෙකුට වරදක් නොවීම.
6. සිතේ පසුතැවිලි ගති ඇති නොවීම.

03. බෙහෙත් පිදීමේ ආනිශංස දහය

භේසජ්ජං සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දනානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

ආයුවා බලවා වීරෝ – වණ්ණවා යසවා සුඛී
අනුපද්දවෝ අනීතීච – හෝමි අපචිතෝ සදා
න මේ පියවියෝගත්ථි – තස්ස නිස්සන්දතෝ මම

බුදුරජාණන් ප්රමුඛ මහා සංඝයා වහන්සේට අවශ්ය බෙහෙත් වර්ග පූජාකිරීමේ බලයෙන් ආනිශංස දහයක් භවයේදී ලැබූයෙමි.

1. දීර්ඝායු සම්පත් ලැබීම.
2. ශරීර ශක්තිය ලැබීම.
3. ධෛර්ය සම්පන්න පුද්ගලයෙක් වීම.
4. පැහැපත් වර්ණයකින් යුක්ත වීම.
5. යහපත් කීර්ති රාවයක් ඇත්තෙකු වීම.
6. ශරීර සැපය ලැබීම.
7. කවර උපද්රවයකටවත් හසු නොවන්නෙකු වීම.
8. අන් අයගේ දෝෂාරෝපණයන්ගෙන් වැළකුණු කෙනෙක් වීම.
9. කාගේත් ගෞරවයට ලක්වූ කෙනෙක් වීම.
10. තම දරුවන්, බිරිඳ සහෝදර සහෝදරියන්, මව්පියන් අකාලයේ මරණයට පත් නොවීම – එවැනි පි්තරය විප්රයෝග දුකකට පත් නොවීම.

04. පාවහන් පූජාවේ ආනිශංස පහ

1. උපනුපන් ආත්මභාවයන්හිදී අශ්වවාහන, ඇත්වාහන සහ දෝලා, සිවිකාදිය ද ගමන් බිමන් සඳහා ඒ ඒ කාලවලදී පැවති විවිධ යාන වාහන ලැබීම.
2. පයට පහසුව ගෙනදෙන අගනා පාවහන් ලැබීම.
3. කිසිදු ආත්මභාවයකදී දෙපයේ සහ පතුල්වල රෝගාබාධයක් ඇති නොවීම.
4. අහසින් යාම බඳු සෘද්ධි බල ලැබීම.
5. උපනුපන් ආත්මභාවයන්හිදී දර්ශනීය පාද යුග්මයක් ලැබීම.

05. ඡත්ර කුඩ පූජාවේ ආනිශංස

ඡත්තේ සුගතෙ දත්වා
සංඝේ ගණවරුත්තමේ
අට්ඨානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේ ප්රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට සියක් දිනක් පුරා දහස දහස බැගින් දන්දීමේ අලංකාර ඡත්ර – කුඩ එක නමට එක බැගින් සවි කෙළෙමි. එයින් මම සසර පුරා ආනිශංස අටක් සෑම ආත්මභාවයකදී ම මේ ඡත්ර පූජාවෙන් ලැබූවෙමි.

සීතං උණහං න ජානාමි – රජෝජල්ලං න ලිම්පති
අනුපද්දවෝ අනීතී ච – හෝමි අපචිතෝ සදා

කිසිම ආත්මයක දී සීතෙන් හෝ උෂ්ණත්වයෙන් පීඩා නො ලැබූවෙමි. කවදාවත් අධික සීත ඇති රටක, කවදාවත් දැඩි ඌෂ්ණය ඇති රටක උපතක් සිදු නොවිනි.

මාගේ ශරීරයෙහි කුණු ඇලෙන ගතියක් නැත. ඒ නිසා දහදිය වැගිරීමක් ද නැත. උවදුරකට මුහුණ දීමට සිදු නොවිනි. සැමදා ගිය ගිය තැන සැමගේ ගෞරව ලබන කෙනෙක්වම සිටියෙමි.

සුඛුමච්ඡවිකෝ හෝමි – විසදං හෝති මානසං
සත්ත සතසහස්සානි – භවේ සංසරතෝ මම

ඉකුත් කල්ප ලක්ෂය පුරාම පින්කම නිසා උපනුපන් ආත්මභාවයන්හිදී සිනිදු එසේම පිරිසිදු වර්ණවත් ශරීරයක්ම ලැබීමි.

උපනුපන් තන්හිදී අලංකාර ඡත්ර, අලංකාර නිවාස ලැබීමට මේ පුණ්යකර්මය මට හේතු විය. ප්රධානත්වය – මූලිකත්වය සැමතැනදී ම ලදිමි.

06. ආහාර පාත්ර – භාජන පිදීමේ අනුසස් දහය

පත්තේ සුගතේ දත්වා
සංඝේ ගණවරුත්තමේ
දසානිසංසේ අනුභෝමි
කම්මානුච්ඡවිකේ මම

බුදුරජාණන් වහන්සේට ද මහා සංඝයා වහන්සේට ද පාත්ර සහ ආහාර ගැනීමේදී උවමනා කරන අනෙකුත් භාජන උපකරණ පූජා කිරීම නිසා ඊට අනුකූල වූ ආනිශංස දහයක් සසර උපදින උපදින ආත්මභාවයක් පාසා ම ලැබුවෙමි.

1. රන් රිදී භාජන සහ අගනා පිඟන් කෝප්පාදී භාජන ලැබීම
2. ආහාර පාන ගැනීමේදී කැස්ස – හිරවීම, දිව තොල හැපීම් බඳු උපද්රව ඇති නොවීම.
3. ඉතා පහසුවෙන් ආහාර පානාදිය ලැබීම.
4. සැමදා කාගේත් ගෞරවයට පාත්රවීම.
5. දේපළ ගින්නෙන්, ජලයෙන්, කෘමීන් ආදී සතුන්ගෙන් විනාශ නොවීම.
6. චංචල බවින් තොර ස්ථිර අදහස් ඇත්තකු වීම.
7. සැමදා ධර්මයට කැමැත්තකු වීම.
8. කෙළෙස් අඩු ගතිය.
9. කාගේත් හිත් දිනාගත හැකි වීම.
10. දෙව් මිනිස් දෙගතියෙහි විවිධ සම්පත් ලැබීම.

තම ශ්රමය යොදා දානාදිය පිළියෙළ කිරීම නිසා ආනිශංස පහක් ලැබූවෙමි

1. කීකරු යහපත් සේවක කාරකාදීන් ලැබීම.
2. ගව මහීසාදී සම්පත් ලැබීම.
3. තමනට ලැදි ආරක්ෂක – මෙහෙකරුවන් ලැබීම.
4. ප්රණීත ලෙස ආහාර පාන පිසිය හැකි සේවක සේවිකාවන් ලැබීම, තමන්ටද ප්රනීත ලෙස ආහාර පිසීමට හැකිවීම.
5. පිරිසිදු දර්ශනීය ආහාර පිසින මුළුතැන්ගෙවල් ලැබීම. අන් අය යොදා නම නියම නො කොට ඔවුනුත් සමඟ තමාත් වෙහෙසීමෙන් දන් පිළියෙළ කිරීම නිසා ලැබූ ආනිශංස පස මෙයින් කියැවේ.

07. අභය දානයේ – මරණ භය නැති කිරීමේ අනුසස්

අභයදානං දත්වාන – ජත්තුනෝ භයතජ්ජිතේ
දසානිසංසේ අනුහොමි – කම්මානුච්ඡවිකෙ මම

භාග්යවත් බුදුරජාණන් වහන්ස, බොහෝ ආත්ම භාවයන්හිදී මම මරණයට කැප වූ, භයින් තැතිගත් සතුන් කරුණාවෙන් යුතුව මරණ භයින් මුදවාලීමි. එහි කුසල විපාක වශයෙන් සසර වසනාතුරා මේ නිවන් ලබන ආත්මය දක්වාම ආනිශංස දහයක් ලැබූවෙමි.

1. උපනුපන් ආත්ම භාවයන්හි දී කිසිදු මාරක බන්ධනයකට අසු නොවීම.
2. නිරෝගී සම්පත්තිය ලැබීම.
3. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
4. රාජ රාජ මහාමාත්ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතුව උපත ලැබීම.
5. දිව්යලෝක, බ්රහ්මලෝක ආදියෙහි සම්පත් ලැබීම.
6. කීකරු පුණ්යවන්ත පි්කරයශීලී අඹු දරුවන් ලැබීම.
7. තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවක කාරකාදීන් ලැබීම.
8. සෑම තැනකදීම උසස් පුද්ගලයකු සේ කැපී පෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
9. උගත් නූගත්, දුප්පත් පොහොසත්, බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
10. ඒ අභය දානමය පිනේම ශේෂ වූ ආනිශංස වශයෙන් පංච අභිඥා, අෂ්ඨ සමාපත්ති ලාභීව මහරහතන් බවට පත්වීමට හැකිවීම.

මෙම ලිපිය අන්තර්ජාලය තුළින් උපුටාගත් ධර්මකරුණු ඇතුලත් කර සකස්කරන ලද ලිපියකි .

Friday, 21 August 2020

💫 රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය 💫

 💫 රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය 💫

රත්නත්‍ර‍ය සරණ ගියා වූ බෞද්ධයා විසින් එය අමතක නො කොට නැවත නැවත රත්නත්‍ර‍ය සේවනය කළ යුතු ය. රත්නත්‍ර‍යට මහත් භක්තියක් හා අවනත බවක් යටත් බවක් සෑම බෞද්ධයකු කෙරෙහි ම තිබිය යුතු ය. රත්නත්‍ර‍යට තමා ගේ උසස් ම ගෞරවය පිරිනැමිය යුතු ය. හැකි පමණින් එයට පූජා සත්කාර කළ යුතුය.
දැන් බුදුන් වහන්සේ අප ඉදිරියේ නැති බැවින් උන් වහන්සේට කරන්නා වූ ගෞරවය හා පූජාව දාගැබ් මහබෝ පෙති පිළිම ආදී පූජනීය වස්තු කෙරෙහි පැවැත්විය යුතු ය. ඒ පූජනීය වස්තූන්ට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. විහාර ගෙයකට, බෝ රුකක් සමීපයට, දාගැබක් සමීපයට යන කල්හි රජකු ඉදිරියට යන්නාක් මෙන් ගෞරවයෙන් යා යුතුය. කුඩ ඉස ලා, හිස් වැසුම් ලා, දෙවුර වසා පොරවා නො පිවිසිය යුතු ය. ඒ ස්ථානයන්ට වහන් පය ලා නො පිවිසිය යුතු ය. ඒ ස්ථාන අපවිත්‍ර‍ වන ලෙස අශුද්ධ වූ පා ඇතුව නො පිවිසිය යුතු ය. සිද්ධස්ථාන සමීප භූමිභාගයන් ද අපවිත්‍ර‍ නො කළ යුතු ය. සිද්ධස්ථානයකට පැමිණි කල එය කුණු කසලවලින් අපවිත්‍ර‍ වී තිබෙනු දුටුව හොත් පවිත්‍ර‍ කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. සිද්ධස්ථාන නො නැසී පවත්නා පරිදි කැඩුම් බිඳුම් සංස්කරණය කිරීම හා ඒවා වැඩි දියුණු කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. විහාරස්ථානවලට පුදා තිබෙන බුද්ධ සන්තක වස්තුව විෂක් මෙන් සලකා ඒවා තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකිය යුතුය. බුද්ධ සන්තක වූ සුළු දෙයක් වුව ද තමාගේ ප්‍රයෝජනයට ගැනීමෙන් ගෙවා ගැනීමට දුෂ්කර නපුරු විපාක ඇති පාපයක් අත් වන බව මතු දැක්වෙන කථාවෙන් දත යුතු ය.
පෙර මේ ලක්දිව රුහුණු රට “දීඝාවුක” නම් චෛත්‍යයට කොඩියක් කොට පිදූ වස්ත්‍ර‍යක් සුළඟින් කැඩී ගොස් එක් කුඹුරකට වැටුණේ ය. ඒ වස්ත්‍රයේ කොනක චෛත්‍යයට පුදන ලද බව ද ලියා තිබුණේ ය. කෙත් හිමියා කෙත බලා ඇවිදිනුයේ ඒ වස්ත්‍ර‍ය දැක එය ගෙන චෛත්‍යයට පිදූ දෙයක් බව දැන දැන ම අකුරු ලියා තිබූ කොන ඉරා දමා පොරවා ගත්තේ ය. පසු කලෙක හේ කාලක්‍රියා කොට ඒ පව නිසා ගිනියම් වූ යපටින් වෙළුණු ශරීරයක් ඇති ප්‍රේතයෙක් විය. ඔහුගේ ශරීරය නිරන්තරයෙන් දැවෙන්නේ ය. ඔහුට හිඳගන්නට ද නිදන්නට ද නුපුළුවන. ඉතා අමාරුවෙන් තැනකින් තැනකට යෑම පමණක් ඔහුට කළ හැකි ය. එක් දවසක් මධ්‍යම රාත්‍රියේ දී ඒ ප්‍රේතයා භික්ෂූන් වහන්සේ කෙනකුන් සමීපයට පැමිණ තමාගේ දුක කියා සිටියේ ය. ඔහුගේ බස් අසා සංවේගයට පත් භික්ෂූන් වහන්සේ “තට මේ දුකින් මිදීමට කුමක් කෙරෙම්දැයි” විචාළහ. “දීඝාවුක නම් චෛත්‍යරාජයා හට කොඩි දහසක් පිදුව හොත් මේ දුකින් මිදිය හැකි ය.” යි ප්‍රේතයා කීය. තෙරුන් වහන්සේ පසු දින ප්‍රේතයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් වස්ත්‍ර‍ සොයා කොඩි පනසක් කොට චෛත්‍යරාජයාට පුදා පින් පැමිණවූහ. එ දින රාත්‍රියේ ප්‍රේතයා පැමිණ හිසින් අටඟුලක් පමණ යපටින් මිදුණනු බව තෙරුන් වහන්සේට සැල කෙළේ ය. තෙරුන් වහන්සේ දෙවන දිනයෙහි කොඩි පනසක් පුදා ප්‍රේතයාට පින් පැමිණවූහ. එයින් තවත් අටඟුලක් ප්‍රේතයාගේ ශරීරය යපටින් මිදිණ. මෙසේ තෙරුන් වහන්සේ දිනෙන් දින වස්ත්‍ර‍ සොයා චෛත්‍යයට කොඩි පුදමින් දහස සම්පූර්ණ කළ සේක. කොඩි දහස සම්පූර්ණ වූ කල්හි ප්‍රේතයා සම්පූර්ණයෙන් යපටින් මිදී සැපවත් විය. බුද්ධ සන්තක වස්තුව ගැනීමෙන් වන විපාකයේ බරපතලකම මේ කථාවෙන් තේරුම් ගෙන පරෙස්සම් වෙත්වා!
ධර්මය වස්තුවක් වශයෙන් පෙන්වන්නට ඇති දෙයක් නොවන බැවින් ධර්මයට කරන පූජාව ධර්මධරයන් ධර්ම කථිකයන් කෙරෙහි කළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළ සේක. එ බැවින් ධර්මයට පුදනු කැමතියන් විසින් ඒ දෙය ධර්ම පූජා වශයෙන් ධර්මධරයන් වහන්සේලාට, ධර්ම කථිකයන් වහන්සේලාට පිදිය යුතු ය. ධර්මය ලියා තිබෙන්නා වූ ද මුද්‍ර‍ණය කර තිබෙන්නා වූ ද පොත් පත් ධර්ම චෛත්‍යයෝ ය. ධර්මයට ගරු කිරීමක් වශයෙන් ඒවාට ද වැඳුම් පිදුම් කළ හැකිය. ධර්මය දේශනය කරන කල්හි ඉතා ගෞරවයෙන් එය ඇසිය යුතු ය. උසසුන්වල හිඳ බණ ඇසීම ද, ධර්ම කථිකයන් වහන්සේට පිටුපා බණ ඇසීම ද, ධර්මකථිකයන් වහන්සේ දෙසට පා දිගු කර ගෙන හිඳ බණ ඇසීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. තවද දහම් දෙසන තැනක එය නො අසා අන් වැඩක යෙදීම ද, බණ අසන අන්‍යයන්ට බාධා විය හැකි පරිදි කථා කිරීම ද ධර්මයට කරන අගෞරවයෝ ය. ගෞරවයෙන් බණ ඇසීම පිනක් වන්නාක් මෙන් ම ධර්මයට අගෞරව කිරීම පාපයක් වන බව දත යුතුය. තථාගත ධර්මය පිරිහෙන්නට නොදී ආරක්ෂා කිරීම ද බෞද්ධයාගේ යුතුකමෙකි. ධර්මය ආරක්ෂා වීමට කළ යුතු දේ නම් දහම් පොත් පත් සුලභ කිරීම ය. ධර්මාචාර්‍ය්‍යවරයන්ට හා ධර්මය උගන්නා ශිෂ්‍යයන්ට අනුබල දීමය, ධර්ම දේශනා මාර්ගයෙන් මහජනයා අතර ධර්මය පතුරුවාලී ය යන ආදිය යි.
සංඝරත්නයට අයත් භික්ෂූන් වහන්සේලා කෙරෙහි සෑම කල්හි ම මෛත්‍රී සහගත සිත පැවැත්විය යුතුය. සර්වඥ ශාසනය ගෙන යන්නා වූ උන්වහන්සේලාට උපකාර කළ යුතුය. උන්වහන්සේලාගේ සුව දුක් ගැන කල්පනා කළ යුතු ය. උන්වහන්සේලාට සෑම කල්හි ම ගෞරව කළ යුතු ය. උන්වහන්සේලා දුටු විට හුනස්නෙන් නැගිටිය යුතු ය. උන්වහන්සේලා ඉදිරියේ උසසුන්වල නො හිඳිය යුතු ය. වහන් පය ලා හිස් වැසුම් ලා නො සිටිය යුතු ය. උන්වහන්සේලා හා කථා කරන කල්හි ගිහියන් හා කථා කරන්නාක් මෙන් කථා නො කොට, හාමුදුරුවන් වහන්සේ, ස්වාමීන් වහන්සේ යනාදි වචන වලින් ගෞරවයෙන් කථා කළ යුතු ය. නැති තැන්හි ද උන්වහන්සේලාට අගෞරව වන වචනවලින් කථා නො කළ යුතු ය.
බෞද්ධයා විසින් නිතර භික්ෂූන් වහන්සේලා ගෙන් අවවාදානුශාසනා ලබා ගත යුතුය. භික්ෂූන් වහන්සේලා ආශ්‍ර‍ය කිරීමේදී උන් වහන්සේලා හා අධික මිත්‍ර‍ත්වයට නො පැමිණ ගින්න ආශ්‍ර‍ය කරන්නාක් මෙන් පරෙස්සමින් ආශ්‍ර‍ය කළ යුතුය. භික්ෂූන් වහන්සේ හා අධික මිත්‍ර‍ත්වයට පැමිණිය හොත් උන් වහන්සේ කෙරෙහි ගෞරව නැති වීමෙන් ද සඟ සතු දෑ තමාගේ ප්‍රයෝජනයට ගන්නට පුරුදු වීමෙන් ද අපාගත විය හැකි ය. නපුරු නො මනා අදහස් ඇති දුශ්ශීල භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතුය. පෙර එක් උපාසිකාවක් පාප භික්ෂුවක ගේ අනුශාසනය පිළිගෙන සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගර්හා කොට ඒ භික්ෂුව සමඟ වැසිකිළි වළක ප්‍රේතව උපන්නී ය.
තමාට අවවාද අනුශාසනා ලබා ගැනීම හා උපස්ථාන කොට පින් සිදු කර ගැනීමටත් මිස අන් ලාභයක් ප්‍රයෝජනයක් සඳහා භික්ෂූන් ආශ්‍ර‍ය නො කළ යුතුය. තමා විසින් භික්ෂූන් වහන්සේට කෙතෙක් උපකාර කළත් ප්‍ර‍ත්‍යුපකාර වශයෙන් උන් වහන්සේගෙන් ආගමික කටයුතු හැර අනෙකක් බලාපොරොත්තු නො විය යුතුය.
භික්ෂූන් වහන්සේලා එක්විසි අනේසනයෙන් වෙන් ව වාසය කළ යුත්තෝ ය. තමාට සංග්‍ර‍හ කරන දායකයන් සතුටු කරවීමට ඔවුනට සංග්‍ර‍හ කරන්නට ගියහොත් භික්ෂුව වරදට පැමිණේ. එබැවින් සිල්වත් භික්ෂූහු එසේ නො කරති. එබැවින් බෞද්ධ ගෘහස්ථයා විසින් භික්ෂූන් වහන්සේගෙන් යම් කිසිවක් ලබා ගත නො හැකි වීම නිසා හෝ උන් වහන්සේ ලවා වැඩක් කරවා ගත නොහැකි වීම නිසා හෝ භික්ෂූන් වහන්සේට නො කිපිය යුතුය. ඇතැම් අලජ්ජි භික්ෂූහු ගිහියන් සතුටු කරවා ගැනීම පිණිස ඔවුනට යම් යම් දේ දෙති. ඔවුන්ගේ වැඩ කර දෙති. ආගම නො දත් බෞද්ධයා ඒ ගැන භික්ෂුව කෙරෙහි පහදී. නියම ලෙසට ආගම අදහනු කැමති බෞද්ධයා විසින් එබඳු භික්ෂූන් ආශ්‍රයෙන් වැළකිය යුතු ය. භික්ෂූන් වහන්සේලා විසින් නො කළ යුතු දේවල් දැන ගැනීම ගිහියන්ට ද ප්‍රයෝජනවත් බැවින් “එක්විසි අනේසනය” මෙහි දක්වනු ලැබේ.

ගිහියන් සතුටු කරවනු පිණිස සඟසතු වූ හෝ තමා සතු වූ හුණ ලී ඔවුනට දීම.

මංගලාවමංගලාදි කටයුතුවලට ගිහියන්ට මල් දීම,

පොල් අතු තල් අතු ආදි පත්‍ර වර්ග ගිහියන්ට දීම,

පොල් පුවක් ආදි ගෙඩි ජාති දීම,

දැහැටි දඬු දීම,

මුව දෝනා පැන් දීම,

නහන පැන් දීම,

ඇඟ ගල්වන සුණු වර්ග (සබන් වර්ග) දීම,

ගෙවල් සකස් කර ගැනීම් ආදියට මැටි දීම,

තමා පහත් තන්හි තබා ගිහියන් උසස් කොට, සිත් ගැනීම සඳහා කථා කිරීම.

ගිහියන්ගේ සිත් ගැනීම සඳහා බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කිරීම.

හිස පිරිමැදීම ආදියෙන් දායකයාගේ දරුවන් හුරතල් කිරීම.

ගිහියන්ගේ පණිවිඩ ගෙන ගමින් ගමට යෑම.

වෙදකම් කිරීම.

ගෙන් ගෙට ගිහියන්ගේ පණිවිඩ කීම.

ගිහියන්ට වැඩ කරදීමට යෑම.

තමා ලත් යහපත් දෙය ගිහියන්ට දී ඔවුන් සතු දෙය තමා ගැනීම.

ගිහියන්ට ලාභාශාවෙන් අල්ලස් දීම.

ගෙබිම් ආදිය දැක්වීම.

නැකත් කීම.

ශරීර ලක්ෂණ බලා පලාපල කීම.

මේ කරුණු එක් විස්ස අනේසන නම් වෙති. මේවායින් වැළකී සිටින සිල්වත් භික්ෂූන්ට, ගිහියනට ආමිෂයන් සංග්‍ර‍හ කිරීමට ඉඩක් නැත.
ගිහියන් විසින් සංඝ සන්තක වස්තුව තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමෙන් හා කිලිටි කිරීම් ආදියෙන් ඒවාට හානි කිරීමෙන් ද වැළකිය යුතුය. පෙර එක් මිනිසෙක් සංඝ සන්තක තෙල් සංඝයාගේ අවසර නැති ව ඇඟ ගල්වා ගත් පවින් නරකයෙහි බොහෝ කල් දුක් විඳ, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ කටු මැටි බිත්තියක් බඳු රළු ශරීරය ඇති යක්ෂයෙක් වූයේය. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලයේදී එක් ගොවිකේ කුඹුර සාමින් සිට නො නා බණ අසන්නට ගොස් ඇඟ තැවරී තුබූ මඩින් සඟ සතු බුමුතුරුණු අපවිත්‍ර‍ කොට ඒ පවින් බොහෝ කල් නරකයේ පැසී, ඉන් මිදී ගයා පොකුණ සමීපයේ ඉදිකටු බඳු ලොම් ඇති යක්ෂයෙක්ව උපන්නේය. මෙයින් දෙ අනූ වන කප ඵුස්ස නම් වූ බුදුන් වහන්සේගේ කාලයේදී සඟ සතු දන් කෑ සුවාසු දහස් දෙනෙක් අප බුදුන් සමයේ ද ප්‍රේත ව විසුවෝ ය. සංඝ සන්තක වස්තු ගැනීමේ හා එයට හානි කිරීමේ විපාකවල බරපතලකම කියන ලද කථාවලින් තේරුම් ගෙන එයින් පරෙස්සම් වෙත්වා!
භික්ෂූන් වහන්සේලා වනාහි තමනට වරද කළ අයගෙන් පළි ගන්න නොයන ඉවසන ස්වභාව ඇති සත්පුරුෂ පිරිසකි. එ බැවින් ඇතැම් දුෂ්ට පව්කාරයෝ බියක් සැකයක් නැතිව ම භික්ෂූන් වහන්සේලාට අපහාස කරති. චෝදනා කරති. සමහර විට ඔවුහු භික්ෂූන් වහන්සේලාට ගර්හා කිරීම තමන්ගේ පණ්ඩිතකමේ අංගයක් කොට සලකති. එක් භික්ෂුවකට මුත් අගෞරව කිරීමෙන් මුළු සංඝ රත්නයට ම අගෞරව කළේ වන්නේ ය. එය මහත් වූ පාපයෙකි. ධාර්මික ශ්‍ර‍මණයන් වහන්සේලාට අගෞරව කිරීම චෝදනා කිරීම අලාභහානි කිරීම මහා නරකයන්හි දීර්ඝ කාලයක් දුක් විඳීමට හේතු වන බරපතල පවක් බව දක්වා තිබේ. සමහර විට එහි විපාකය මෙලොවදී ම ද ලැබෙන්නේ ය. එයින් වන්නා වූ අනිෂ්ට විපාක සමහර විට කළ තැනැත්තා පමණක් නොව ඔහුගේ දරු මුණුබුරන්ට ද විඳින්ට සිදුවේ. එබැවින් තථාගතයන් වහන්සේ විසින් කොසොල් රජතුමාට මෙය වදාරන ලදි.

වනං යදග්ගි ඩහති - පාවකො කණ්හවත්තනි
ජායන්ති තත්ථ පාරොහා - අහො රත්තාන මච්චයෙ

යඤ්ච ඛො සීලසම්පන්නො - භික්ඛූ දහති තේජසා
න තස්ස පුත්තා පසවෝ - දායාදා වින්දරෙ ධනං

අනපච්චා අදායාදා - තාලවත්ථු භවන්ති තෙ
තස්මා හි පණ්ඩිතො පොසො - සම්පස්සං අත්ථමත්තනො

භූජඞ්ගමං පාවකඤ්ච - ඛත්තියඤ්ච යසස්සිනං
භික්ඛුඤ්ච සීලසම්පන්නං - සම්මදෙව සමාචරෙ.

ගාථාවල අදහස මෙසේ ය:

ගිය මග දවා හළු කරන්නා වූ ගින්න යම් කලෙක වනයක් දවා ද, කාලයක් ගතවීමෙන් පසු ඉතිරි වූ මුල්වලින් ලියලා නැවතත් එහි ගස් ඇති වන්නේය.

සිල්වත් වූ භික්ඛු තෙමේ තමාට වරදක කළ කෙනකු තමාගේ තේජසින් යම් කලෙක දවා ද, එ කල්හි ඔහු පමණක් නොව ඔහුගේ දරුවෝ ද ගව මහිසාදි සත්ත්වයෝ ද නස්නාහ. ඔහු ගේ ධනය උරුමක්කාරයෝ නො ලබන්නාහ.

සිල්වත් භික්ෂුන්ට වරද කිරීමෙන් ඒ භික්ෂූන්ගේ සීල තේජසින් දවනු ලැබූ ඔවුහු දරුවන් නැත්තාහු උරුමක්කාරයන් නැත්තාහු අක් සුන් තල් රුක් වැනි වන්නාහ. එ බැවින් තමාගේ අර්ථය දක්නා වූ පණ්ඩිත පුරුෂ තෙමේ සර්පයා කෙරෙහි ද, ගින්න කෙරෙහි ද, රාජ කුමාරයා කෙරෙහි ද, සිල්වත් භික්ෂුව කෙරෙහි ද මනා කොට හැසිරෙන්නේ ය යනුයි.

භික්ෂූන් වහන්සේ වනාහි නාගාදීන් මෙන් ස්වකීය තේජසින් අන්‍යයන් දවන්නා වූ කෙනෙක් නොවෙති. උන්වහන්සේ බණින්නා හට පෙරළා නො බණින්නා වූ, කලහයට එන්නා හා කලහයට නො යන්නා වූ, සන්සුන් පැවතුම් ඇත්තා වූ, ඉවසන්නා වූ කෙනෙකි. ගුණවත් වූ උන්වහන්සේට අපරාධ කිරීමෙන් මහත් වූ පාපයක් අත් කර ගැනීමෙන් තෙමේ ම දැවෙන්නේ ය. දුකට පත්වන්නේ ය. බුදුන් වහන්සේ “භික්ෂු තෙම අපරාධකාරයාව තමන්ගේ තේජසින් දවන්නේ ය” යි වදාළේ භික්ෂුව නිසා අපරාධකාරයා දැවෙන බැවිනි. වරද කරන්නා වූ භික්ෂූන්ට අපහාසාදිය කිරීමෙන් පවක් නො වෙති යි ඇතමුන් සිතතත් එය එසේ නො වේ. කෙතරම් දුශ්ශීල භික්ෂුවකට වුව ද අපහාස කිරීම නුසුදුසු ය. එ බඳු භික්ෂූන් ගැන ගිහියන් විසින් කළ යුත්තේ වර්ජනය කිරීම ය.
“අට්ඨහි භික්ඛවේ, ධම්මෙහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා අප්පසාදං පවෙදෙය්‍යුං, කතමෙහි අට්ඨහි? ගිහීනං අලාභාය පරිසක්කති, ගිහීනං අනත්ථාය පරිසක්කති. ගිහීනං අක්කෝසති පරිහාසති, ගිහී ගිහීහි භේදේති. බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, අගොචරේ ච නං පස්සන්ති, ඉමේහි ඛෝ භික්ඛවේ අට්ඨහි ධම්මේහි සමන්නාගතස්ස භික්ඛුනෝ ආකඞ්ඛමානා උපාසකා අප්පසාදං පවේදෙය්‍යුං”
යනුවෙන් ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නා වූ ද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූ ද, ගිහියන් ගිහියන් හා බිඳවන්නා වූ ද, බුදුන්ගේ අගුණ කියන්නා වූ ද, ධර්මයේ අගුණ කියන්නා වූ ද, සංඝයාගේ අගුණ කියන්නා වූ ද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූ ද, භික්ෂූන්හට කැමති නම් අප්‍ර‍සාදය දැක්වීමට තථාගතයන් වහන්සේ විසින් උපාසකවරුන්ට අනුදැන වදාරා තිබේ. අප්‍ර‍සාදය දැක්වීම යනු ඒ භික්ෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කළ හුනස්නෙන් නොනැඟී සිටීම, පෙර ගමන් නො කිරීම, නො වැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නො සතුට දැක්වීම ය.
මෙතෙකින් රත්නත්‍ර‍ය කෙරෙහි පිළිපැදිය
යුතු ආකාරය සැකෙවින් දැක්වීම නිමියේ ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 උපාසක චණ්ඩාලයා 💫

 💫 උපාසක චණ්ඩාලයා 💫

“පඤ්චහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසක චණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨෝ ච, කතමෙහි පඤ්චහි? අස්සුද්ධො හොති, දුස්සීලො හොති, කෝතුහල මංගලිකො හොති, මංගලං පච්චෙති නො කම්මං. ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති. තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙහි ඛො භික්ඛවෙ පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකචණ්ඩාලො ච හොති උපාසක මලං ච උපාසක පතිකිට්ඨො ච”.
මෙහි තේරුම මෙසේ ය:
මහණෙනි! අංග පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වෙයි. උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වෙයි. කවර අංග පසකින්ද යත්?

ශ්‍ර‍ද්ධාව නැත්තේ වේද?

දුශ්ශීලයෙක් වේ ද?

අසන දකින දේවල හොඳ නරක දෙකින් ශුභාශුභ සිද්ධි වෙතැයි පිළිගන්නේ වේ ද?

කෝතුහල මංගල නම් වූ අසන දකින දේවලින් ශුභාශුභ වන බව ම සලකා කර්මය නො සලකන්නේ වේ ද?

බුදුසසුනෙන් පිටත දක්ෂිණේයයන් (පින් පිණිස දීමට සුදුස්සන්) සොයා ද, එහි ම පළමුකොට දේ ද, මහණෙනි මේ අංග පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක චණ්ඩාලයෙක් ද වේ, උපාසක මලයෙක් ද උපාසක හීනයෙක් ද වේ.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 උපාසක රත්නය💫

 💫 උපාසක රත්නය💫

“පඤ්චහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හෝති, උපාසකපදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච. කතමෙහි පඤ්චහි? සද්ධො හොති, සීලවා හොති, අකොතුහලිකමංගලිකො හොති. කම්මං පච්චෙති නො මංගලං, න ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති, ඉධ ච පුබ්බකාරං කරොති, ඉමෙහි ඛො භික්ඛවේ, පඤ්චහි ධම්මෙහි සමන්නාගතො උපාසකො උපාසකරතනඤ්ච හොති, උපාසක පදුමඤ්ච උපාසක පුණ්ඩරිකෝ ච”
මෙහි අදහස මෙසේ ය:-
මහණෙනි, ධර්ම පසකින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වේ. උපාසක පද්මයක් ද වේ. උපාසක පුණ්ඩරිකයක් ද වේ. කවර ධර්ම පසකින් ද යත්?

ශ්‍ර‍ද්ධාව ඇත්තේ වෙයි.

සිල් ඇත්තේ වෙයි.

අසන දකින දේවල හොඳ නරකින් ශුභාශුභ සිද්ධි වෙතැයි නො ගන්නේ වෙයි.

කර්මය සලකයි. මංගල්‍යය නො සලකයි.

බුදුසස්නෙන් පිටත පිනට දීමට සුදුස්සන් නො සොයයි. පළමු කොට ශාසනයට ම දෙයි.

මහණෙනි, මේ ධර්ම පසින් යුක්ත වූ උපාසක තෙමේ උපාසක රත්නයක් ද වෙයි. උපාසක පද්මයක් ද, උපාසක පුණ්ඩරිකයක් ද වෙයි.
මෙහි පද්ම ය යි කියනුයේ රත් නෙළුම් මලට ය. පුණ්ඩරික ය යි කියනුයේ සුදු නෙළුම් මලට ය. ඇතැම්හු උදෑසන අසන්නට දකින්නට ලැබෙන දේවලින් හා කටයුත්තකට යන කල්හි පෙර මග දක්නට ලැබෙන දේ වලින් ද මනුෂ්‍යයා හට ශුභාශුභ සිදු වෙතැයි ගනිති. කෝතුහල මංගලිකෝය යි කියනුයේ ඔවුන්ට ය. එය බෞද්ධයන් නො පිළිගත යුත්තකි.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 උපාසක ගුණ දශය💫

 💫 උපාසක ගුණ දශය💫

“දසිමෙ මහාරාජ, උපාසකස්ස උපාසක ගුණා. කතමෙ දස? ඉධ මහාරාජ, උපාසකො සංඝෙන සමාන සුඛ දුක්ඛෙ, ධම්මාධිපතෙය්‍යො විහරති යථාබලං සංවිභාගරතො හොති. ජිනසාසන පරිහානිං දිස්වා අභිවුද්ධිං වායමති, සම්මා දිට්ඨිකෝ හොති. අපගත කොතුහල මංගලිකො ජීවිත හෙතුපි න අඤ්ඤං සත්ථාරං උද්දිසති. කායිකං වාචසිකං ච රක්ඛිතං හොති. සමග්ගාරාමො හොති සමග්ගරතො, අනුසුය්‍යකො හොති, න ච කුහක වසෙන සාසනෙ චරති, බුද්ධං සරණං ගතො හොති. ධම්මං සරණං ගතො හොති. සංඝං සරණං ගතො හොති. ඉමෙ ඛො මහාරාජ, දස උපාසකස්ස උපාසක ගුණාති.”
මෙය, නාගසේන ස්ථවිරයන් වහන්සේ විසින් මිළිඳු මහරජුට වදාරන ලද්දකි. එහි තේරුම මෙසේ ය.
මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය. කවර දශයක් ද යත්? මහරජ, මේ ශාසනයෙහි උපාසක තෙමේ:

සංඝයා හා සමාන සුවදුක් ඇත්තේ ධර්මය අධිපති කොට ඇත්තේ වෙයි.

දන්දීමෙහි ඇලුණේ වෙයි.

සර්වඥ ශාසනයාගේ පිරිහීම දැන එය නගා සිටවීමට උත්සාහ කරන්නේ වෙයි.

දුරු කරන ලද කෝතුහල මංගල ඇත්තේ සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වෙයි.

ජීවිතය නිසාවත් සර්වඥයන් වහන්සේගෙන් අනෙකකු තමාගේ ශාස්තෘවරයා වශයෙන් නො දක්වන්නේ වෙයි.

කායකර්ම වාක්කර්මයන් ආරක්ෂා කරන්නේ වෙයි.

සමගියෙහි ඇලුණේ වෙයි.

ඊර්ෂ්‍යා නො කරන්නේ වෙයි.

අන්‍යයන් රැවටීමට සර්වඥ ශාසනයෙහි හැසිරෙන්නේ නො වෙයි.

බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සංඝයා සරණ ගියේ වෙයි.

මහරජ, මේ කරුණු දශය උපාසකයාගේ උපාසක ගුණයෝ ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 කුශලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය💫

 💫 කුශලයන්ගේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය💫

අලෝභය, අද්වේෂය, අමෝහය යි කුශල චිත්තය හා සම්ප්‍රයෝග වන හේතු ධර්ම තුනෙකි. ඒවාට කුශල මූලයෝ යි ද කියනු ලැබේ. එහි අලෝභය යනු අන්ධකාරය නසන ආලෝකය සේ ඒ ඒ වස්තූන් හා පුද්ගලයන් සම්බන්ධයෙන් ඇතිවන්නා වූ ලෝභයට විරුද්ධ වූ ලෝභය දුරු කරන්නා වූ ස්වභාවයෙකි. ලෝභ නැති බව ම අලෝභය යි වරදවා නො ගත යුතු ය. අද්වේෂය යනු ද්වේෂයට විරුද්ධ ස්වභාවයෙකි. එනම් මෛත්‍රිය යි. අමෝහය යනු ඥානය ය.
මාපියාදීන් විසින් චෛත්‍යාදියට වඳිනු දක්නා වූ මල් පහන් ආදියෙන් පුදනු දක්නා වූ බාල දරුවෝ තුමූ ද අනුන් කරන නිසා එසේ කරති. එහෙත් බුද්ධාදීන්ගේ ගුණ හෝ කර්ම - කර්ම ඵලය හෝ ඒ දරුවෝ නො දනිති. ඒවා නො දත් මුත් ඔවුන්ගේ ඒ ක්‍රියාවෝ කුශලයෝ වෙති. නො දැන කරන්නා වූ ඒ කුශලයන්හි අලෝභද්වේෂ දෙක මුත් අමෝහය නො ලැබේ. එබැවින් ඒවා ද්විහේතුක කුශලයෝ ය. ද්විහේතුක කුශලය දුබල ය. විපාක දීමේ දී මඳ වූ ද දුබල වූ ද විපාකයක් ඇති කරන්නේ ය. යම් කිසිවකු කුශලයක් කරන කල්හි යටත් පිරිසෙයින් කර්ම - කර්ම ඵල දෙකවත් දැන කරන්නේ නම් එය අලෝභය, අද්වේෂය, අමෝහය යන හේතු තුනෙන් යුක්ත වීමෙන් ත්‍රිහේතුක කුශලයක් වන්නේ ය. ත්‍රිහේතුක කුශලය බලවත් ය. එයින් බොහෝ සැප සම්පත් ගෙන දෙනු ලැබේ. මේ ද්විහේතුක ත්‍රිහේතුක භේදය සෑම කුශලයක් සම්බන්ධයෙන් ම කිය යුතු ය.
කම්පල ගැන සැලකීමක් නො කොට ලෝකාපවාදයෙන් ගැලවීම පිණිස ද, අනුන් දෙන තැන දී නො දී සිටීමට ලජ්ජාව නිසා ද, දෙන්නට කියන තැනැත්තා අමනාප වේය යන බිය නිසා ද, ගරු නම්බු ලබා ගැනීම පිණිස ද, තවත් එබඳු කරුණු නිසා ද දෙන්නා වූ තැනැත්තාට වන්නේ ද්විහේතුක කුශලය ය. යම් කිසිවකු විසින් දෙන්නට නියම කරන නිසා හෝ ප්‍ර‍තිග්‍රාහකයාගේ ඉල්ලීම නිසා හෝ කුල සිරිත් වශයෙන් හෝ තමාට ම දෙන්නට සිත් වීම නිසා හෝ අන් කරුණක් නිසා හෝ දෙන තැනැත්තා කර්ම - කර්ම ඵලය දක්නා ඥානය පෙරදැරි කරගෙන ප්‍ර‍තිග්‍රාහකයන්ගේ ගුණ සලකා ගෙන දෙන්නේ වේ නම්, ඔහුට එයින් අලෝභද්වේෂා මෝහ සඞ්ඛ්‍යාත හේතුත්‍රයෙන් යුක්ත බැවින් ත්‍රිහේතුක නම් වූ දානමය කුශලය සිදු වේ. ද්විහේතුක කුශලයෙන් ද්විහේතුක හේ අහේතුක ප්‍ර‍තිසන්ධියක් ඇති කරනු ලැබේ. අහේතුක ද්විහේතුක ප්‍ර‍තිසන්ධි ඇත්තෝ ඒ ජාතියේ ධ්‍යාන ඉපදවීමට හා සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පැමිණ නිවන් දැකීමට ද අභව්‍යයෝ ය. ත්‍රිහේතුක කුශලය ද උත්කෘෂ්ටෞමක වශයෙන් දෙවැදෑරුම් වේ. ත්‍රිහේතුකෝත්කෘෂ්ට කුශලයෙන් ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධිය ඇති කරනු ලැබේ. ත්‍රිහේතුකෞමක කුශලයෙන් ද්විහේතුක ප්‍ර‍තිසන්ධිය ගෙන දෙනු ලැබේ. ත්‍රිහේතුක ප්‍ර‍තිසන්ධි ඇත්තා වූ ත්‍රිහේතුක පුද්ගලයෝ ම ඒ ජාතියේ දී ම නිවන් දැකීමට සුදුස්සෝ වෙති.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 ආමිෂදාන අභයදාන ධර්මදානයෝ💫

 💫 ආමිෂදාන අභයදාන ධර්මදානයෝ💫

ආමිෂ දානය, අභයදානය, ධර්මදානය යි ද දානය ත්‍රිවිධ වේ. එයින් ආමිෂ දානය යනු ආහාරපාන වස්ත්‍රාදිය දීමය. අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීම ය. විපතින් ගලවා ගැනීම ය. මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ ය. තමා විසින් පස් පවින් වැළකීම ද මහත් වූ අභයදාන පසක් වන බව:
“ඉධ භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති, පාණාතිපාතා පටිවිරතො භික්ඛවෙ අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති අවෙරං දෙති අබ්‍යාපජ්ජං දෙති, අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාපජ්ජං දත්වා, අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාපජ්ජස්ස භාගී හොති. ඉදං භික්ඛවෙ පඨමං දානං මහා දානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං න සංකීයති න සංකීයිස්සති අප්පතිකුඩ්ඪං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි” යනාදීන් අංගුත්තර නිකායෙහි දක්වා තිබේ.
ලාභ කීර්ති ප්‍ර‍ශංසාදිය ගැන අපේක්ෂාවක් නැතිව කරුණාධ්‍යාංශයෙන් පින්පව් හඳුන්වා දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානය ය. සත්ත්වයන් නිවන් මගට පමුණුවනු සඳහා ආර්‍ය්‍යසත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය ය. ධර්මකථිකයන් ලවා ධර්මය කියවීම ද, බණ නො අසන්නන් ලවා බණ ඇස්වීම ද, බණ පොත් පත් ලියවීම හා මුද්‍ර‍ණය කරවීම ද, බණ පොත් මිලට ගෙන පූජා කිරීම ද, ධර්මය ඉගෙන ගන්නවුන්ට පොත පත සපයා දීම ද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මය උගන්වන ගුරුවරයනට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීම ද, පොත් ගුල් දහම් හල් කරවීම ද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වුවත් කිරීම ද ධර්ම දානය ම වන්නේ ය.
දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර‍ දානය වේ. යමකුට සක්වළ ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩ සිටින්නා වූ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයෙකි. ඒ අතිවිශාල ආමිෂ දානයට වඩා එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දානය ම උතුම් වේ. ඒ මහා චීවර දානය, එක් ගාථාවකින් දහම් දෙසීමේ කුශලයෙන් සොළොස් වෙනි කලාව තරම්වත් නො වටිනා බව දක්වා තිබේ. තවද සක්වළ පුරා වැඩ සිටින බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පාත්‍රා පුරා දෙන මහා ආහාර දානයට ද, එසේ ම පාත්‍ර‍ පුරා දෙන මහා ග්ලානප්‍ර‍ත්‍යය දානයට ද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයට ද වඩා, ජේතවනාරාමය සඳහා අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට ද වඩා, සතර පද ගාථාවකින් පවත්වන ධර්මදානය ම උතුම් බව දක්වා තිබේ. කුමක් හෙයින් ද යත්? එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසා ම දෙන බැවිනි. මේ සත්ත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ සැන්දක් පවා පිනට නො දෙන්නාහු ය. එ බැවින් සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ.

සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”

ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්මරතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය සකල දුඃඛය දිනන්නේ ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ 💫

 💫 සිල් සමාදන්වීමෙන් දසපාරමිතාව ම පිරේ 💫

මනුෂ්‍ය දිව්‍ය බ්‍ර‍හ්ම සංඛ්‍යාත ලෞකික සම්පත් පිණිස කරන කුසල් ය. රහත් බව පසේ බුදුබව ලොවුතුරා බුදු බව යන තුන්තරා බෝධිය පිණිස කරන කුසල් ය කියා කුසල් දෙවර්ගයකි. එයින් ලෞකික සම්පත් පිණිස කරන කුසල්වලින් සසර දික්වේ. බෝධිත්‍ර‍ය පිණිස කරන කුසල්වලින් නිවනට පමුණුවනු ලැබේ. බෝධිත්‍ර‍ය සඳහා කරන කුසල් පාරමිතා නම් වේ. පාරමිතා දසයෙකි. සිල් සමාදන් වන දිනයේ නුවණින් ක්‍රියා කළ හොත් ඔබට පාරමිතා දසයම ලැබිය හැකි ය.
මල් පූජා, පහන් පූජා, ගිලන් පස පූජා, ආහාර පූජා කිරීමෙන් ඔබට දානපාරමිතාව පිරේ. අනිකකුට දානයක් දුන හොත් දානයකට සහභාගී වුවහොත් එයින් ද දාන පාරමිතාව ම පිරේ. ධර්‍ම කථිකයන් වැඩම කරවා බණ කියවුව හොත් තමා බණකියුව හොත් සෙස්සන්ට අසන්නට බණ පොතක් හෝ කියවුවහොත් එයින් ද දාන පාරමිතාව පිරේ. සිල් සමාදන් වී සිටින ඔබට සීලපාරමිතාව පිරීම ගැන අමුතුවෙන් කියයුත්තක් නැත.
අඹු දරුවන් හැර, සැමියන් හැර, අලංකාර වස්ත්‍රාභරණ හැර, රාත්‍රී භෝජනය හැර, නැටුම් බැලීම් ආදිය හැර, සුව පහසු ඇති සිය නිවස හැර දහම් හලකට වී පැදුරක වාසය කිරීම කාමයන් කෙරෙන් බැහැර වීමය. එය නෛෂ්ක්‍ර‍ම්‍ය ය. එයින් ඔබට නෛෂ්ක්‍ර‍ම්‍ය පාරමිතාව පිරේ.
පොහොය දිනයේ දී ප්‍ර‍ඥාව ලබනු පිණිස දහම් ඇසීමෙන්, දහම් පොත් කියවීමෙන්, ධර්ම සාක්ච්ඡා කිරීමෙන්, තමා දත් ධර්මය සෙස්සන්ට කියා දීමෙන්, භාවනා කිරීමෙන් ප්‍ර‍ඥා පාරමිතාව පිරේ.
ඔබ මේ පොහෝ දිනයෙහි සිල් රැකීමට, ධුතංග රැකීමට, භාවනා කිරීමට, දහම් ඇසීමට, වත් පිළිවෙත් කිරීමට කරන වීර්‍ය්‍යය වීර්‍ය්‍ය පාරමිතාවය.
සිල් සමාදන් වී සාගින්න ඉවසීම, පිපාසය ඉවසීම, ශාරීරික වේදනා ඉවසීම, මැසිමදුරු කරදර ඉවසීම, ශීතෝෂ්ණ ඉවසීම, අනුන්ගෙන් අපහාස ලැබේ නම් ඒවා ඉවසීම ක්ෂාන්ති පාරමිතාව ය.
සත්‍යය පාවිච්චි කිරීමෙන් සත්‍යයෙහි පිහිටා සිටීමෙන් සත්‍ය පාරමිතාව පිරේ.
මම මෙපමණක් ශීල රකිමිය, මෙතෙක් කල් භාවනා කරමිය යනාදීන් අධිෂ්ඨාන කරගෙන අධිෂ්ඨාන කළ පරිදි ඒවා සම්පූර්ණ කිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව පිරේ.
අන්‍යයන්ගේ යහපත පිණිස ඇමදීම්, කසළ ඉවත්කිරීම් පැන් සපයා තැබීම්, පහන් දල්වා තැබීම් ආදී මෛත්‍රී සහගත කායික ක්‍රියා කිරීමෙන් ද, අනුන්ගේ සිත් සතුටු වන පරිදි යහපත් වචන කතා කිරෟීමෙන් ද, අනුන්ගේ යහපත පිණිස ධර්මය කියා දීමෙන් ද, මෛත්‍රී භාවනා කිරීමෙන් ද මෛත්‍රී පාරමිතාව පිරේ.
පිරීම හොඳට ම අමාරු පාරමිතාව උපේක්ෂා පාරමිතාව ය. අපවිත්‍ර‍ ශරීරය හා ඇඳුම් ඇති, නොයෙක් ලෙඩ ඇති, බැලීමට කැත, ළංවන කොට දුගඳ, අවලස්සන පුද්ගලයන් පිළිකුල් කරන්නේ ද නැතිව, ලස්සන අයට උසස් අයට ඇලුම් කරන්නේ ද නැතිව සතුරන්ට නපුරුකම් සිතන්නේ නැතිව, හිතවතුන්ට වැඩි ඇල්මක් සැලකිල්ලක් කරන්නේ නැතිව, හොඳය කියන දේවලට ඇලුම් කරන්නේ නැතිව, කැතය නරකය කියන දේ පිළිකුල් කරන්නේ නැතිව මෙදිය සියල්ල කෙරෙහි මධ්‍යස්ථව වාසය කරනවා නම් එයින් උපේක්ෂා පාරමිතාව පිරේ.
මෙසේ නුවණින් ක්‍රියා කිරීමෙන් සිල් ගත් දිනයේ දස පාරමිතාව ම සම්පූර්ණ කළ හැකි බව සැලකිය යුතු ය.
චිරං තිට්ඨතු සද්ධම්මෝ.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය💫

 💫 දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය💫

වස්තු සම්පත්තිය ය, ප්‍ර‍ත්‍යය සම්පත්තිය ය, චේතනා සම්පත්තිය ය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය. වස්තු සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය. ප්‍ර‍ත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය. චේතනා සම්පත්තිය යනු දීමට පූර්වයෙහි හා දෙන කල්හි ද ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුශල චේතනා ඇති බව ය. ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍ර‍තිග්‍රාහකයා එදින නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය. මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේදී යම් කිසි අවස්ථාවක ලැබේ.
චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්‍ය්‍යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහතාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නො වේ. දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාල සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍ර‍හයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍ර‍කට ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 නව ගුණවැල💫

 💫 නව ගුණවැල💫

නව ගුණවැල භාවනාව ප්‍ර‍මාණ කර ගැනීම පිණිස සියලු ඉරියව්වල දී ම භාවිතයට සුදුසු ඉතා ප්‍රයෝජනවත් උපකරණයෙකි. බුද්ධානුස්මෘතිය වැඩීමට ඇට සියයක් ඇති නව ගුණ වැලක් ගත යුතු ය. නව ගුණ වැල පාවිච්චි කරන්නවුන් විසින් භාවනාවට හිඳගෙන කාලය ගැන සැලකීමක් නො කොට වාර ගණන ගැන සැලකිය යුතු ය. මෙ පමණ වාර ගණනක් භාවනා කරමියි වාර ගණන නියම කරගෙන නව ගුණ වැලේ ඇටවලින් වාර ගණන් ගැණ ගත යුතු ය. එක් හිඳ ගැනීමක දී සිය වරකට අඩු නො වන්නට භාවනා කරනු. දිනකට දහස් වරක් පිරවිය හැකි නම් ඉතා යෙහෙකි. උදය කාලයේ පන්සිය වාරයක් හා සවස් කාලයේ පන්සිය වරක් ද භාවනා කිරීමෙන් දහස පිරවිය හැකි ය.
භාවනාව වියදමක් නැති ව කාහටත් කරගත හැකි උසස් පින්කමෙකි. රැකී රක්ෂා කරන්නවුන්ට ඒවා කරමින් ම භාවනා කළ හැකි ය. රෑ නිදන්නට සූදානම් වන කල්හි නින්ද යන තුරු භාවනා කළ හැකි ය. ඉර උදාවන තෙක් නො නිදා කල් ඇති ව නැගිට එළිය වැටෙන තුරු භාවනා කළ හැකි ය. ඒ වේලාව භාවනා කිරීමට ඉතා ම හොඳ වේලාවකි. බොහෝ යෝගාවචරයන් රහත් වන්නේ ද, බුදුවරු බුදු වන්නේ ද ඒ වේලාවේ ය. ගමනක් යන තැනැත්තාට යෙමින් ම භාවනා කළ හැකි ය. වෙළෙන්දාට බඩු ගැනීමට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට කෙනකු එන තුරු භාවනා කළ හැකි ය. ගොවියාට ගොවිපළට යන තෙක් භාවනා කළ හැකි ය. කම්කරුවාට කම්හලට යන එන අතර භාවනා කළ හැකි ය. දිනපතා භාවනාවට නියම කර ගෙන තිබෙන කාලය හැර අවකාශ ලැබෙන අවස්ථාවල දී ද භාවනා කරන්නට පුරුදු කර ගත යුතු ය. අත් නො හැර භාවනා කරගෙන යන පින්වතාට එහි ඵලය මෙලොව දී ම දක්නට ලැබෙනවා ඇත.
නානාරම්මණයෙහි වික්ෂිප්ත ව දීර්ඝ කාලයක් පැවැත්තා වූ සිත ඉක්මණින් ම එක අරමුණක තැබිය හැකි තැනට නො පැමිණ විය හැකි ය. එයට කලක් ගත වේ. එයට වීර්‍ය්‍ය කරන කල්හි සිත කය දෙක ම වෙහෙසට පත් වේ. ඒ උත්සාහය කරන කල්හි ශරීරයේ ඇතැම් සියුම් කොටස් ගෙවෙන්නේ ය. එයින් ශරීරය දුබල විය හැකි ය. හිසේ රෝග ඇස් රෝග කන් රෝග ළයේ රෝග කුස තුළ වාත රෝග තුනටියේ වාත රෝග ඇති විය හැකි ය. ඒ නිසා භාවනාව කරන තැනැත්තා ඉක්මන් නො විය යුතු ය. පටන් ගැනීමේදී එක් වරකට පැය කාල බාගය යනාදීන් භාවනා කොට වැඩි වේලාවක් භාවනා කළ හැකි වන්නට ක්‍ර‍මයෙන් පුරුදු කර ගත යුතු ය. පටන් ගැනීමේ දී ම දවස මුළුල්ලේ ම භාවනා කරන්නට ගියහොත් සමහර විට උමතු ද විය හැකි ය. යම්කිසි ආබාධයක් භාවනාව නිසා ඇති වුවහොත් එය සුවවන තුරු ටික දිනකට භාවනා කිරීම නැවැත්විය යුතු ය.
පරෙස්සම් විය යුතු කරුණක්
කියන ලද ක්‍ර‍මයෙන් බුද්ධානුස්මෘති භාවනාව කලක් කර ගෙන යන කල්හි ඇස පියාගත් විට ඉදිරියේ වැඩ සිටින්නාක් මෙන් බුදුරුව පෙනෙන්නට පටන් ගත හැකිය. එසේ වුවහොත් එය දියුණු කරගත යුතු ය. සමහරුන්ට කලක් භාවනා කරගෙන යන විට නොයෙක් දේ පෙනෙන්නට වේ. සමහර විට දෙවිවරුන් තමා වෙත පැමිණ සිටින්නාක් මෙන් ද රූපත් ස්ත්‍රී පුරුෂයන් පැමිණ සිටින්නාක් මෙන් ද තවත් සමහර විට භූතයන් පැමිණ සිටින්නාක් මෙන් ද තවත් නොයෙක් දේ පෙනෙන්නට විය හැකි ය. ඔවුන් විසින් නොයෙක් දේ කියනු ඇසෙන්නට ද පුළුවන. ඒවා සත්‍ය වූ ඇසීම් පෙනීම් නොවේ. ඒවා සත්‍ය සිද්ධි වශයෙන් පිළිගෙන ක්‍රියා කරන්නට නො යා යුතු ය. ඒවා පෙනුණු කල්හි සිත ඒවාට යොමු කළහොත් ඒ විකාර රූප වඩ වඩා පෙනෙන්නට පටන් ගැනීමෙන් කරදර විය හැකි ය. එබැවින් ඒවාට සිත යොමු නොකර භාවනාව ම කරනු. භයානක රූප පෙනුණත් භයානක හඬ ඇසුණත් ඒවා සත්‍ය වශයෙන් ඇති දේ නො වන නිසා නොබිය විය යුතු ය. ඒ පෙනෙන ඇසෙන දෑ සත්‍ය වශයෙන් පිළිගෙන ඒවා අනුව ක්‍රියා කරන්නට ගියහොත් ඒවා බොහෝ වැඩි වී උමතු වන්නට ද ඉඩ ඇති බැවින් විශේෂයෙන් ඒවායින් පරෙස්සම් විය යුතු ය. ඒවායේ සත්‍යාසත්‍ය සොයන්නට ගිය හොත් වඩා මුළා විය හැකි බැවින් පෙනුණ කෙණෙහි ම ඒවා බැහැර කරනු. බැහැර කිරීම නම් ඒවා මෙනෙහි නො කර නො බලා හැරීම ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 අපචායන පුණ්‍ය ක්‍රියාව💫

 💫 අපචායන පුණ්‍ය ක්‍රියාව💫

ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතු මහබෝ පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතු ය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මා පියන් විසින් ද ගරු කළ යුතු ය.
ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම ය යි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍ර‍වල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පා වහන්, හිස් වැසුම්, කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍ර‍මයෝ ය.
වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍ර‍මය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීම ය, දෙ අත් නළල මත තබා වැඳීම ය, දෙ අත් හිස මත තබා වැඳීම ය, දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීම ය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍ර‍යට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ද යෝග්‍ය ය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍ර‍ය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍ර‍මයෙන් ම වැඳීම මැනවි.
වචනයෙන් ගරු කිරීම ය යනු ගරු කළ යුත්තන් හා කථා කිරීමේ දී ද ගරු කළ යුත්තන් ගැන කථා කිරීමේ දී ද ගෞරව දැක්වෙන වචන පාවිච්චි කිරීම හා වචනයෙන් වන්දනා කිරීම ය. “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යනාදි වන්දනාව ප්‍ර‍කාශ වන වචන කීම වාචා වන්දනාව ය. ස්තුති වාක්‍යය, ස්තුති ගීතාදිය කීම ද එයට ඇතුළත් ය.
සිතින් ගරු කිරීමය යනු ගරු කළ යුත්තන් කෙරෙහි සිත නමා ගැනීම හා එතුමන්ලාගේ ගුණයන් ආදරයෙන් සිහි කිරීම ය.
අපචායනයේ අනුසස්

“යෙ මුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කොවිදා
දිට්ඨෙ ව ධම්මෙ පාසංසා - සම්පරායෙ ච සුග්ගති”

තේරුම:
වෘද්ධාපචායන ධර්මය දක්නා වූ යම් කෙනෙක් වෘද්ධයනට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහතාත්මයෙහි ප්‍ර‍ශංසා කළ යුත්තෝ වෙති. ඔවුනට මරණින් මතු පැමිණිය යුතු තැන ද සුගතිය වේ.

“අභිවාදනසීලිස්ස - නිච්චං වුද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති - ආයු වණ්ණෝ සුඛං බලං”

තේරුම:
වැඩිමහල්ලන්ට අභිවාදනය කරන ස්වභාවය ඇත්තා වූ නිතර වෘද්ධයන්ට ගරු බුහුමන් කරන්නා වූ තැනැත්තා හට ආයුෂය ශරීර වර්ණය සැපය බලය යන ධර්මයෝ සතර දෙන වැඩෙත්.
අපචායන කුශලය අන්‍යයන් විසින් ගරු බුහුමන් කරන රාජකුලාදි උසස් කුලවල ඉපදීමට හා ගරු බුහුමන් ලැබීමට ද උසස් තනතුරු ලැබීමට ද හේතු වන බව කිය යුතු ය. සැවැත්නුවර විසූ අදින්න පුබ්බක නම් වූ මසුරු බමුණාගේ පුත්‍ර‍ මට්ටකුණ්ඩලී බුදුන් වහන්සේට සිතින් පමණක් ගෞරව කිරීමෙන් තව්තිසා දෙව්ලොව උපන් බව දම්පිටුවාවේ දක්වා තිබේ. එක් සැඩොල් මැහැල්ලක් බුදුන් වහන්සේට වැඳීමේ කුශලයෙන් මරණින් මතු දෙව්ලොව උපන් බව විමානවස්තු ප්‍ර‍කරණයේ දක්වා තිබේ. ගරු කළ යුත්තන්ට ගරු කිරීම කුශලයක් වන්නා සේ ම ගරු කළ යුත්තන්ට අගෞරව කිරීම පාපයක් වන බව ද දත යුතු ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 ධර්මදේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව 💫

 💫 ධර්මදේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව 💫

පොළොවේ පටන් බ්‍ර‍හ්ම ලෝකය දක්වා සක්වල පුරා වැඩ සිටින පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මට සිලුටු වස්ත්‍ර‍ පිදීමට ද වඩා, එබඳු ප්‍ර‍තිග්‍රාහක පිරිසකට ප්‍ර‍ණීත ආහාර පාත්‍ර‍ පුරවා දෙන දානයකට ද වඩා, එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර‍ පුරවා දෙන ගිලන්පස දානයකට ද වඩා, මහා විහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමට ද වඩා, ලෝවාමහාපාය වැනි පහයන් දහස් ගණනක් කරවීමට ද වඩා අනේපිඬු මහ සිටුහු විසින් ජේතවනාරාමය සඳහා කළ පරිත්‍යාගයට ද වඩා අනුමෝදනාවක් කිරීම් වශයෙන් එක් ගාථාවකින් කරන ධර්මදේශනය ම උසස් බව දක්වා තිබේ. මේ සත්ත්වයන් මහා දානයන් දෙනුයේ බණ ඇසීම නිසා ය. බණ නො ඇසුව හොත් ඔවුහු පින් සලකා බත් සැන්දකුදු නො දෙන්නාහ. බණ කීමේ කුශලය උසස් වන්නේ එහෙයිනි. මේ සත්ත්වයන් පින් කොට ලෞකික ලෝකෝත්තර සම්පත් ලබන්නේ ද බණ ඇසීම නිසා ය. එ බැවින් බණ කීම සියල්ල ම දීම වැනි ය. ඒ කාරණයෙන් ධර්මදේශනය අන් හැම පිනක් ම යට කරන උසස් පිනක් වේ. දානාදී පින්කම් වලින් ලැබෙන යම් අනුසසක් වේ නම් ඒ සියල්ල ම දහම් දෙසීමේ කුශලයාගේ ඵල වශයෙන් ලැබෙන බව කිය යුතු ය. ප්‍ර‍ඥාව ලැබීම එහි විශේෂ ඵලයක් වශයෙන් කිය යුතු ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 දිට්ඨිජ්ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිදු කිරීම💫

 💫 දිට්ඨිජ්ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිදු කිරීම💫

පින් පව් ඇත, පින් පව්වල විපාක ඇත, මරණින් පසු නැවත ඉපදීමක් ඇත. සත්ත්වයෝ කර්මානුරූප පරිදි සුවදුක් ලබන්නාහ යනාදීන් සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම ඇති කර ගත් සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම දිට්ඨිජ්ජුකම්ම නම් වූ දස වන කුශලය ය.
බෞද්ධ නාමයෙන් සිටින සැම දෙනම සාමාන්‍යයෙන් කර්මය කර්ම ඵලය පිළිගන්නවුන් වුව ද ශුද්ධ සම්‍යග් දෘෂ්ටිය ඇත්තෝ නො වෙති. ඔවුන්ගෙන් ඇතමෙක් දෘෂ්ට මඞ්ගලාදිය සාර වශයෙන් ගෙන කර්මය සැහැල්ලු කොට සලකති. ඇතමෙක් වර්තමාන කර්ම හා සැප දුක් ලැබීමට ඇති කර්මයේ අන්‍ය හේතූන් ද හැර සියල්ල ම අතීත කුශලාකුශල කර්ම බලයෙන් ම වෙතැයි පමණ ඉක්මවා කර්ම හා කර්ම ඵලය පිළිගනිති. ඇතමෙක් ඇතැම් පුණ්‍යකර්ම පාප කර්ම වශයෙන් ද ඇතමෙක් ඇතැම් පාපකර්ම පුණ්‍යකර්ම වශයෙන් ද වරදවා ගනිති. ඇතමෙක් ඇතැම් අල්ප සාවද්‍ය කර්ම මහා සාවද්‍ය කර්ම වශයෙන් ද, ඇතැම් මහා සාවද්‍ය කර්ම අල්ප සාවද්‍ය කර්ම වශයෙන් ද වරදවා ගෙන සිටිති. එබඳු හැඟීම් ඇතියවුන්ගේ සම්‍යග් දෘෂ්ටිය අපරිශුද්ධ ය. ඔවුන් විසින් ධර්ම ශ්‍ර‍වණ ධර්ම සාකච්ඡා ආදියෙන් දෘෂ්ටිය ශුද්ධ කර ගත යුතු ය.
සම්‍යග්දෘෂ්ටිය අනේකාකාර වුව ද මේ පුණ්‍යක්‍රියා වස්තු විෂයෙහි ගනු ලබන්නේ කර්මස්වකතා සම්‍යග් දෘෂ්ටිය ය. එය -
“කම්මස්සකා සබ්බෙ සත්තා, කම්ම දායාදා, කම්ම යොනි, කම්මබන්ධු, කම්මපටිසරණා, යං කම්මං කරිස්සන්ති කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදා භවිස්සන්ති” යි.
තථාගතයන් වහන්සේ විසින් වදාරන ලදී. “සකල සත්ත්වයෝ කර්මය හිමි කොට ඇත්තෝ ය. කර්මය උරුම කොට ඇත්තෝ ය, කර්මය සැප දුක් ලැබීමේ හේතුව කොට ඇත්තෝ ය. කර්මය නෑ කොට ඇත්තෝ ය. කර්මය පිහිට කොට ඇත්තෝ ය. මනා වූ හෝ නො මනා වූ හෝ යම් කර්මයක් කෙරෙත් නම් සත්ත්වයෝ එය උරුමය කොට ඇත්තාහු වන්නාහු ය.” යනු එහි තේරුම ය.
මේ කර්මස්වකතා සම්‍යක්දෘෂ්ටිය ඇතැම් සූත්‍ර‍වල දී කරුණු දශයක් සම්බන්ධ කොට “අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකත දුක්කතානං කම්මානං ඵලං විපාකෝ, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි අයං ලොකො, සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති” යි වදාරා තිබේ. එහි තේරුම මිථ්‍යා දෘෂ්ටි කර්මය විස්තර කිරීමේ දී ඉහත දක්වන ලද දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියට අනුව තේරුම් ගත හැකි ය.
සම්‍යග් දෘෂ්ටියේ අනුසස්
සත්ත්වයනට සැප සම්පත් ලැබිය හැක්කේ පින් කිරීමෙනි. මිථ්‍යාදෘෂ්ටිය පින් කිරීමට මහත් බාධකයකි. පිනට සත්ත්වයාගේ සිත නැමෙනුයේ සම්‍යග් දෘෂ්ටිය නිසා ය. එ බැවින් එය සියලු පින්වලට මූලය ද ප්‍ර‍තිෂ්ඨාව ද වේ. එය ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමු වන අංගය කොට වදාරා තිබෙනුයේ ද එහෙයිනි. සම්‍යග් දෘෂ්ටියේ අගය දක්වා වදාළ දේශනා බොහෝ ය. ඉන් කීපයක් මෙසේ ය.
“නාහං භික්ඛවෙ, අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා වා කුසලා ධම්මා භිය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති, යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි, සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ, අනුප්පන්නා චෙව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්‍යො භාවාය වෙපුල්ලාය සංවත්තන්ති”.
මහණෙනි, මේ සම්‍යග් දෘෂ්ටිය සේ නූපන් කුශලයන් ඉපදීමට හා උපන් කුශලයන් වැඩීමට ද හේතු වන අන් එක ම ධර්මයකුදු මම නො දකිමි. සම්‍යග් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහු ය. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු එහි අදහස ය.
“නාහං භික්ඛවෙ, අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි, යථෙවං සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. යථයිදං භික්ඛවෙ, සම්මා දිට්ඨි, සම්මා දිට්ඨියා භික්ඛවෙ සමන්නාගතා සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති”.
“මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය සේ සත්ත්වයනට සුගතියෙහි ඉපදීමට හේතු වන අන් එක් ධර්මයකුදු නො දක්නෙමි. මහණෙනි, සම්‍යග් දෘෂ්ටියෙන් යුක්ත ව සත්ත්වයෝ මරණින් මතු සුගතිය වූ ස්වර්ගයෙහි උපදනාහු ය” යනු එහි අදහස ය.
සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ, පුරිස පුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථා දිට්ඨි සමත්තං සමාදින්නං යඤ්ච වචීකම්මං යඤ්ච මනො කම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං යා ච පත්ථනා -යො ච පණිධි - යෙ ච සංඛාරා සබ්බෙ තෙ ධම්මා ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති.”
“මහණෙනි, සම්‍යග් දෘෂ්ටිකයා විසින් ස්වකීය දෘෂ්ටියේ සැටියට යම් කාය කර්මයක් යම් වාක් කර්මයක් යම් මනඃකර්මයක් සම්පූර්ණ කරන ලද ද ගන්නා ලද ද, යම් ප්‍රාර්ථනයක් කරන ලද ද, යම් සංස්කාරයක් රැස් කරන ලද ද ඒ සියල්ල ඔහුට ඉෂ්ට භාවය පිණිස මනෝඥ භාවය පිණිස මනාප භාවය පිණිස හිත පිණිස සැප පිණිස පවත්නාහුය” යනු එහි අදහස ය.
මේ කර්මස්වකතා සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා දන් දී සිල් රැක භාවනා කොට සැපතින් සැපතට පැමිණෙමින් රහත්ව ද පසේ බුදුව ද ලොවුතුරා බුදු ව ද නිවන් දුටුවන්ගේ පරිච්ඡේදයක් නැත්තේ ය. දුකින් මිදෙනු කැමති, සැපතට පැමිණෙනු කැමති සියල්ලෝ ම ධර්ම ශ්‍ර‍වණ සත්පුරුෂ සේවනාදියෙන් සම්‍යග්දෘෂ්ටියෙහි පිහිටා සම්‍යග්දෘෂ්ටිය පිරිසිදු කර ගෙන නිවන් සැපත අත් පත් කර ගනිත් වා!
මේ පින් දශය අතුරෙන් දාන ශීල භාවනා යන තුන ප්‍ර‍ධාන වේ. ඉතිරි සත ඒවාට ඇතුළත් වේ. එබැවින් පින් දක්වන සමහර තැන්වල දාන ශීල භාවනා තුන පමණක් දක්වා තිබේ. පින් තුනක් කියන තැන්වල දී පත්තිදාන, පත්තානුමෝදනා දෙක දානයට ද අපචායන වෙය්‍යාවච්ච දෙක ශීලයට ද ඉතිරි පින් තුන භාවනාවට ද සංග්‍ර‍හ කරනු ලැබේ.
ධර්මානුශාසනා
“මා භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ, සුඛස්සෙතං භික්ඛවෙ අධිවචනං ඉට්ඨස්ස කන්තස්ස පියස්ස මනාපස්ස යදිදං පුඤ්ඤානීති”
තේරුම :
“මහණෙනි, පිනට බිය නොවව්. මහණෙනි, පිනය යනු ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය මනාප වූ සැපයට නමෙකි.”

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤො උභයත්ථ නන්දති
පුඤ්ඤං මෙ කතන්ති නන්දති
භීය්‍යො නන්දති සුග්ගතිං ගතො”

තේරුම :
“පින් කළ තැනැත්තේ මෙලොව ද සතුටු වේ. පරලොව ද සතුටු වේ. දෙලොව ම සතුටු වේ. මා විසින් පින් කරන ලද්දේය යි සතුටු වේ. සුගතියට ගියේ වඩාත් සතුටු වේ.”
දශ පුණ්‍ය ක්‍රියා වස්තු විස්තරය නිමියේය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 පාක කාල කර්ම චතුෂ්කය💫

 💫 පාක කාල කර්ම චතුෂ්කය💫

දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය,උපපද්‍ය වේද්‍ය කර්මය,අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය,අහෝසි කර්මය යි විපාක දෙන කාලයාගේ වශයෙන් කර්මය චතුර්විධ වේ.
දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය
කළ ජාතියේ දී ම විපාක දෙන්නා වූ කර්ම දෘෂ්ට ධර්ම වේද්‍ය කර්ම නම් වේ. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුශලය ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. ධාර්මික ශ්‍ර‍මණ බ්‍රාහ්මණාදීන්ට කරන්නා වූ අපරාධයෝ ද සමහර විට ඒ ජාතියේ දී ම විපාක දෙන්නේ ය. දෘෂ්ට ධර්ම වේද්‍ය කර්මය ඉතා බලවත් වූ කල්හි සත් දිනක් ඇතුළත විපාක දෙන්නේ ය. එපමණට බලවත් නො වන කල්හි ඒ ජාතියේ දී කවර අවස්ථාවක දී හෝ විපාක දෙන්නේ ය. බොහෝ කර්මයෝ කල ජාතියේ දී ම විපාක දෙන්නාහු නො වෙති.
උපපද්‍ය වේද්‍ය කර්මය
දෙවන ජාතියේ විපාක දෙන්නා වූ කර්මය උපපද්‍ය වේද්‍ය කර්ම නම් වේ. (ගරු කර්ම වශයෙන් කලින් විස්තර කර ඇත.)
අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය
කර්මය කළ ජාතියෙන් තුන්වන ජාතියේ පටන් අවකාශයක් පැමිණි කල කවදා හෝ විපාක දෙන කර්මය අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්මය නම් වේ.
අහෝසි කර්මය
අතීතයේ විපාකයන් නුදුන්නා වූ ද, මතු විපාකයන් නො දෙන්නා වූ ද කුශලාකුශල කර්මයෝ අහෝසි කර්ම නම් වෙති.
කුශල වූ අකුශල වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම් වශයෙන් සත්ත්ව සන්තානයෙහි ඇතිවන්නා වූ එක් එක් චිත්ත වීථියක ජවන නම් වූ බලවත් සිත් සත බැගින් ඇති වේ. ඒවායින් පළමුවන ජවන චිත්තය දෘෂ්ට ධර්මවේද්‍ය කර්ම වේ. සත්වන ජවනය උපපද්‍ය වේද්‍ය කර්මය නම් වේ. මධ්‍යයේ ජවන පස අපරාපර්‍ය්‍ය වේද්‍ය කර්ම නම් වේ. එක් ජාතියක දී එක් පුද්ගලයකුගේ සන්තානයෙහි එබඳු කුශලාකුශල චිත්ත වීථි ගණනක් ඇති වේ. ඒවායේ ඇති ඒ ජාතියේ දී විපාක නුදුන් ප්‍ර‍ථම ජවන චේතනා සියල්ල ම මරණින් පසු අහෝසි කර්ම භාවයට පැමිණේ. එක් ජාතියක දී ඇති වන්නා වූ ඒ වීථිවල ඇති වූ සප්තම ජවන චේතනාවින් දෙවන ජාතියේ දී විපාක දීමට අවකාශය නො ලබන සියල්ල ම ද අහෝසි කර්ම වේ. ඉතිරි චේතනාවෝ නිවනට පැමිණෙන තුරු අහෝසි කර්ම නො වෙති. කල්ප ලක්ෂ ගණනක් ගත වූවාට පසු ව වුව ද අවකාශයක් පැමිණිය හොත් ඒවා විපාක දෙන්නේ ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 සප්ත කාම ස්වර්ගය💫

 💫 සප්ත කාම ස්වර්ගය💫

මිනිස් ලොව ය, චාතුර් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිර්මාන රතිය, පරනිර්මිත වශවර්තිය යන මේ ස්ථාන සත දානාදි පින් කම් කළවුන් උපදනා සප්ත කාම ස්වර්ගය ය. එහි සයක් දිව්‍ය ලෝකයෝ ය. දිව්‍යලෝක වනාහි මිනිස් ඇසින් දැකිය නොහෙන, මිනිස් කයින් ස්පර්ශ කළ නොහෙන, ධාතු වර්ගයකින් නිර්මිත, ශෝභන විමානයන් හා මරණ බිය පවා අමතක වන තරමේ ප්‍රියංකර භාවයක් ඇති උයන් පොකුණු ආදියෙන් යුක්ත වූ පරම රමණීය ස්ථානයෝ ය. ඒවායින් ප්‍ර‍යෝජන ලැබිය හැක්කේ දෙවියන්ට ම ය. දිව්‍යලෝකවල උපදනා දෙවියෝ වනාහි මිනිසුන් මෙන් කලක් මව් කුසයේ වැස හඬ හඬා දුකින් ඉපිද ක්‍ර‍මයෙන් වැඩෙන්නා වූ සත්ත්ව කොටසක් නොව සර්වාංග ප්‍ර‍ත්‍යඞ්ගයන්ගෙන් සම්පූර්ණ ව පහළවීම් වශයෙන් උපදනා සත්ත්ව කොට්ඨසයකි. ඔවුන්ගේ ජරාවක් ද නැත්තේ ය. ඔවුන්ගේ ආයුෂ ද ඉතා දිගය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ පරණ වන්නේ ද කිලිටි වන්නේ ද නො වේ. ඔවුනට ආහාරපාන සැපයීමට වෙහෙසීමක් ද නැත. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නො වදති. දරුවන් වැදීමේ, දරුවන් පෝෂණය කිරීමේ කරදරය ඔවුනට නැැැත. ඔවුහු සෑම කල්හි ම නැටුම් ගැයුම් ආදියෙන් සිත් පිනවමින් වෙසෙති. අපාය සතරය, මිනිස් ලොවය, දිව්‍ය ලෝක සයය යන මේ එකොළොස් භූමියට කාම භූමිය යි කියනු ලැබේ.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 මාපියන්ට නො සැලකීමේ ආදීනවය💫

 💫 මාපියන්ට නො සැලකීමේ ආදීනවය💫

මාපියන් බොහෝ දුක් විඳ දරුවන් පෝෂණය කරනුයේ අමාරුවක දී ඔවුහු තමන්ටත් පිහිට වෙති ය යන අදහසිනි. තමා පෝෂණය කා වූ ඔවුන් ගේ ඒ අදහස හැකි පමණින් ඉටු නො කොට තමාගේ වැඩ පමණක් බලාගෙන තමා පමණක් ප්‍රීති වෙමින් කල් යවන දරුවා අධම අසත්පුරුෂයෙකි. දරුවන්ගෙන් පිහිටක් නො ලබා දුඃඛිත ව වෙසෙන මාපියන් හට තමන් ආදරයෙන් පෝෂණය කළ දරුවන්ගේ නො සැලකීම සිහි වන කල්හි මහත් ශෝකයක් ඇති වේ. එය දරුවන්ට නපුරෙකි. මාපියන්ගේ හදවතේ ඇවිළෙන ඒ ගින්න අකෘතඥ දරුවන්ගේ යස ඉසුරු දවයි. ඔවුහු ඒ හේතුවෙන් නොයෙක් ව්‍යසනයන්ට පැමිණෙති. එබැවින් තථාගතයන් වහන්සේ:

“යො මාතරං වා පිතරං වා - ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තො න භරති - තං පරාභවතො මුඛං”

යනු වදාළ සේක. “යම් දරුවෙක් තරුණ බව ඉක්මුණා වූ මහලු මව හෝ පියා හෝ ඔවුන් පෝෂණය කළ හැකිව සිට ම පෝෂණය නො කෙරේ නම් එය පිරිහීමේ හේතුවක් වේය” යනු එහි තේරුම ය. එබඳු අසත්පුරුෂයකුට විපතක් වූ කල්හි “මාපියන්ට පවා දයාවක් නැති මේ අසත්පුරුෂයාට උපකාරයට යෑමෙන් කවර ඵලයක් දැ” යි සෙස්සෝ ඔහුට අනුකම්පා නො කෙරෙති. “මේ අසත්පුරුෂයාට මෙසේ වීම ම හොඳය” යි කියති. මාපියන්ට නො සැලකීම කොපමණ මහත් වරදක් කොට පැරණියන් සැලකුවා ද කියතහොත් පෙර එක් කලෙක “මහලු මාපියන් දුක් විඳින්ට හැර තමන් සැප විඳින දරුවන් මරා දැමිය යුතුය” යන නීතියක් පවා දඹදිව පැවැත්තේ ය. මා පියනට නො සලකන තැනැත්තා මරණින් මතු නරකයට යන බව ද මෙසේ දක්වා තිබේ.

“එවං කිච්ඡාභතො පොසො මාතු අපරිචාරකො
මාතරි මිච්ඡා චරිත්වා නිරයං සො උපපජ්ජති
එවං කිච්ඡාභතො පොසො පිතු අපරිචාරකො
පිතරි මිච්ඡා චරිත්වා නිරයං සෝ උපපජ්ජති”

“මෙසේ මාපියන් විසින් දුක සේ පෝෂණය කළා වූ මවට උපස්ථාන නො කරන්නා වූ තැනැත්තේ මව් කෙරෙහි නො මනා කොට පිළිපැදීම නිසා නරකයෙහි උපදී. මෙසේ මාපියන් දුක සේ පෝෂණය කරන ලද්දා වූ පියාට උපස්ථාන නො කරන්නා වූ දරුවා පියා කෙරෙහි නො මනා කොට පිළිපැදීමෙන් නරකයෙහි උපදී ය” යනු ගාථාවල තේරුම ය.
මාපියන්ට වරද කොට ඔවුන්ගේ සිත් රිදවීම බලවත් පාපයෙකි. එය සමහර විට මෙලොවදී ම විපාක දෙන්නේ ය. මාපියන්ගේ කිනම් වරදක් ඇති වුවත් දරුවන් විසින් එය ඉවසිය යුතුය. ඒවා ගැන ඔවුන් හා කලහයට නො යා යුතු ය. වචනයකින් පවා ඔවුන්ගේ සිත් නො රිදවිය යුතුය. නො දත් කම නිසා හෝ කෝපය නිසා හෝ මාපියනට වරදක් කරන ලද්දේ නම් ඔවුන් ක්ෂමා කරවා ගත යුතු ය. තමා අතින් වූ වරදට සමාව ලබාගන්නට කලින් මාපියන් කළුරිය කළේ නම් මළ සිරුරට හෝ වැඳ සමාව ඉල්ලිය යුතුය. සමාව ගැනීමෙන් පාපය තුනී වේ. මාපියන් නො කැමති ඔවුන් වළක්වන දේවල් ඔවුනට අකීකරු ව ඔවුන් ගේ සිත් රිදවා නො කළ යුතු ය. එසේ කරන ක්‍රියා ඵල දායක වන්නේ ද නොවේ. මව වළක්වද්දී ඇයට ද ගසා අකීකරුව වෙළඳාමට ගිය මිත්තවින්දක නමැත්තා එයින් ම නැසුණේ ය. තවත් එසේ නැසුණෝ බොහෝ ය. දෙලොව වැඩ කැමති සැම දෙන ම තම තමන්ගේ මාපියනට හැකි පමණින් උපස්ථාන කිරීමෙන් ද කීකරු ව හැසිරීමෙන් ද ඔවුන්ගේ සිත් සතුටු කරත්වා!

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු💫

 💫 දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු💫

“ව්‍යාඝ්‍ර‍පද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍ර‍යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්‍යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක.
උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත ව දක්ෂ ව අනලස ව කරන බව ය.
ආරක්ඛ සම්පදා යනු මාපියාදීන්ගෙන් අයිතිවීමෙන් හෝ තමාගේ වීර්යයෙන් උපයා ගැනීමෙන් හෝ තමාට අයත් වී තිබෙන වස්තුව රජුන් විසින් සොරුන් විසින් සතුරන් විසින් පැහැර නො ගන්නා පරිදි විනාශ නො කරන පරිදි ගින්නට දියට වේයන්ට මීයන්ට හසු වී විනාශ නොවන පරිදි ආරක්ෂා කරන බව ය.
කල්‍යාණ මිත්තතා යනු ශ්‍ර‍ද්ධා, ශීල, ප්‍ර‍ඥාදි ගුණ ධර්මයන්ගෙන් යුත් සත්පුරුෂයන් ආශ්‍ර‍ය කරන බව ය. සමජීවිකතාය යනු ආදායමට වඩා වියදම් වැඩි කර නො ගෙන, ණය ගැති නො වී, පමණට වියදම් කොට දුක් නොවිඳ සමව ජීවිකාව කරන බව ය.
සද්ධාසම්පදාය, සීලසම්පදාය, චාගසම්පදාය, පඤ්ඤාසම්පදාය යන මේ සතර පරලොව යහපත පිණිස පවත්නා කරුණු ය.
සද්ධාසම්පදා යනු බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍ර‍යාගේ ගුණ හා කර්ම කර්මඵලය විශ්වාස කරන බව ය. ශීල සම්පදා යනු පන්සිල් රක්නා බව ය. චාගසම්පදා යනු ශ්‍ර‍මණ බ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට සුදුසු පරිදි ආහාර පාන වස්ත්‍රාදිය දෙන බව ය. පඤ්ඤාසම්පදා යනු ස්කන්ධාදි ධර්මයන්ගේ විශේෂ ලක්ෂණ හා අනිත්‍යාදි සාමාන්‍ය ලක්ෂණ දක්නා විදර්ශනා ඥානය ඇති බව ය.‍

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 දාන පාරමිතාව පිරිය යුතු ආකරය💫

 💫 දාන පාරමිතාව පිරිය යුතු ආකරය💫

සැපයට හේතුවන උපකරණයෝ ය, ශරීරාවයවයෝ ය, ජීවිතය ය යන මේවා පරිත්‍යාග කිරීමෙන් ද, අන්‍යයන්ට පැමිණියා වූ ද, ඉදිරියට පැමිණිය හැකි වූ ද, භය දුරු කිරීමෙන් ද, ධර්මෝපදේශ දීමෙන් ද, දාන පාරමිතාව පිරිය යුතුය.
දන් දීම නුවණින් කළ යුත්තකි. ඒ ගැන දත යුතු කරුණු රාශියෙකි. සුදුසු ආකාරයන් නොසලකා, දුන්නා වීමට පමණක් දෙන දානයේ වටිනා කමක් නැත. නුවණින් ආරක්ෂිත නො වූ එබඳු දීම් පාරමිතා සංඛ්‍යාවට ද නො පැමිණේ. පාරමිතා කුශලය නුවණින් හාත්පසින් ගන්නා ලද්දක් ආරක්ෂා කරන ලද්දක් විය යුතු බැවින් පාරමිතා කුශලයක් වනු පිණිස දෙන තැනැත්තා සුදුසු සැටියට දෙන්නට දැන ගෙන ම දීම කළ යුතුය.
දෙන තැනැත්තා විසින් ප්‍රතිග්‍රාහකයන්ගේ තත්ත්වය සලකා තමාට වඩා ගුණාදියෙන් උසස් ප්‍රතිග්‍රාහකයනට පූජා වශයෙන් දීම කළ යුතුය. අනුග්‍රහ කිරීමට සුදුසු අයට අනුග්‍රහ වශයෙන් දිය යුතුය. ඒ දෙයාකාරයෙන් ම දීමට සුදුසු ප්‍රතිග්‍රාහකයාට දෙපරිද්දෙන් ම දිය යුතුය.
දාන වස්තුව කෙරෙහි ලෝභය මඳකුදු ඉතිරි කර නො ගෙන සම්පූර්ණයෙන් දුරු කොට දිය යුතුය. එය ද පහසු කාර්‍ය්‍යයක් නොවේ. ලෝභය ඉතිරි වී තිබෙන බව දායකයාට දැන ගැනීම ද පහසු නැත. දෙන බොහෝ දෙනා දුන් දෙය පිළිබඳ ලෝභය ඉතිරි කර ගෙන දෙන නමුත් ඒ බව ඔවුහු නො දනිති. "අසවල් හාමුදුරුවන්ට අසවල් පන්සලට මා මෙ පමණ දී තිබෙනවා ය. මෙ පමණ වැඩ කර තිබෙනවා ය. එහෙත් මට අසවල් දෙය දුන්නේ නැත. අසවල් දෙය කළේ නැත" ය යි ඇතැම් දායක භවතුන් භික්ෂූන්ට දොස් කියනු දක්නට ලැබේ. ඔවුන් එසේ දොස් කියන්නේ දුන් දෙය ගැන ආශාව හෙවත් බලාපොරොත්තුව ඉතිරි කර ගෙන දුන් නිසාය.
ඇතැම් භවත්හු එබඳු කරුණු නිසා ඉදිරියට දීම නවත්වති. එයින් තේරුම් ගන්නට තිබෙන්නේ ඒ භවත්හු දාන වස්තුව ගැන බලාපොරොත්තුව සම්පූර්ණයෙන් හැර දීමක් කරන්නට ම නො කැමති බව ය. දීමෙන් පසු තමන් දුන් දෙයට වූ දෙය, කළ දෙය, සොයන්නෝ ද ආශාව ඉතිරි කර ගෙන දුන් අය ය. දුන් දෙය පිළිබඳ ආශාව සම්පූර්ණයෙන් ම දුරු වුණා ද ඉතිරි වුණා ද යන බව දෙන අවස්ථාවේ දී දත නො හැකිය. ඉතිරි වී ඇති බව තේරුම් ගත හැකි වන්නේ එබඳු සිදුවීම් වල අනුසාරයෙනි. දෙන්නා වූ පින්වත්හු මේ සියුම් කරුණු තේරුම් ගැනීමට උත්සාහ කෙරෙත්වා. ආශාව ඉතිරි කරගෙන දෙන දාන උසස් දානයෝ නො වෙති.
දන් දීම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් කිරීමකි. අනුග්‍රහයක් කිරීමකි. දෙන සෑම දීමකින් ම ප්‍රතිග්‍රාහකයන්ට යහපතක් සිදු නො වේ. ඇතැම් දීම්වලින් ප්‍රතිග්‍රාහකයන්ට සිදුවන්නේ අලාභ හා කරදරය. එබඳු දීම්වල ද වටිනා කමක් නැත. දිය යුත්තේ එයින් ප්‍රතිග්‍රාහකයාට හෝ අනෙකකුට හෝ විපතක් කරදරයක් අලාභයක් නො වන සැටියටය. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් වන සැටියට ම ය. ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නො වන සැටියට ද, අලාභහානි වෙන සැටියට ද දෙන දානය, නො දීම ම යහපති. රෝගියකුට අපථ්‍යාහාරයක් අපථ්‍ය බෙහෙතක් දීම වැනි, ළදරුවකුට කැපෙන පිහියක් දීම වැනි දාන දීම නපුරකි.
ඇතැම් බෞද්ධයෝ ස්වකීය විහාරයෙහි ලෙහෙසියෙන් ආහාරයක් වළඳන භික්ෂුවට එය කර ගන්නට නො දී බොහෝ දුර කැඳවාගෙන ගොස්, වෙහෙසට පත් කරවා මහා සංග්‍රහයක් සැටියට සිතා ආහාරයක් දෙති. එබඳු දාන වලින් ප්‍රතිග්‍රාහකයාට වන ලාභය කරදර වීම පමණෙකි. ප්‍රතිග්‍රාහකයාට උපකාරයක් නොවන කරදරයක් ම වන එබඳු දාන දීම ම අනුන්ට කරන අවැඩකි. සමහර නිමන්ත්‍රණවලට යාමෙන් ආහාර ටිකක් හා නොවටිනා යම්කිසි සුළුදෙයක් ලැබෙතත් දවසක දෙකක වැඩ පාළු වීමෙන් ප්‍රතිග්‍රාහකයාට අලාභ වන ලෙස දීම ද අනුන්ට නපුරක් කිරීමෙකි.
ප්‍රතිග්‍රාහකයාට තමාගේ වැඩ පාළුවීමෙන් වන අලාභයට වඩා මහත් වූ ද, කරදරයට වඩා ප්‍රයෝජනවත් වූ ද, වටිනා සංග්‍රහයක් කිරීමට නම් දුර බැහැර කැඳවාගෙන ගොස් දීම ද වටනේ ය. යම්කිසි වස්තු වර්ගයක් වුවමනා පමණටත් වඩා ඇතියකුට ඒ දෙය ම දීම ද නිෂ්ඵල ය. පැවිද්දකුට කබායක් දීම වැනි, ගිහියකුට පාත්‍රයක් සිවුරක් දීම වැනි ප්‍රතිග්‍රාහකයාට ප්‍රයෝජනයක් නැති දෑ දීම ද සංග්‍රහයක් නො වේ. බොහෝ දෙනෙකුට එක් දෙයක් දීම ද, ප්‍රතිග්‍රාහකයාගේ වුවමනාව නො පිරිමැසෙන ලෙස මඳ කොට දීම ද නිෂ්ඵල ය. එබඳු දීම් වල ද වටිනාකමක් නැත. කෙනකුට ආහාරයක් දෙත හොත් කුසගින්න නිවෙන පමණට දිය යුතු ය. වස්ත්‍රයක් දෙත හොත් ප්‍රතිග්‍රාහකයාට හැඳීමට හෝ පෙරවීමට හෝ අන් ප්‍රයෝජනයකට හෝ සෑහෙන වස්ත්‍රයක් දිය යුතුය.
දෙන තැනැත්තා විසින් ගිහියකුට දෙත හොත් ගිහියාට ප්‍රයෝජනවත් දෙයක් ද, පැවිද්දකුට දෙත හොත් පැවිද්දාට ප්‍රයෝජනවත් දෙයක් ද, ස්ත්‍රියකට දෙත හොත් ස්ත්‍රියකට ප්‍රයෝජනවත් දේ ද, පුරුෂයකුට දෙත හොත් පුරුෂයකුට ප්‍රයෝජනවත් දේ ද, බාලයකුට දෙත හොත් බාලයාට ප්‍රයෝජනවත් දෙය දො, තිරිසනකුට දෙත හොත් තිරිසනාට ප්‍රයෝජනවත් දෙය ද දිය යුතුය.
සත්ත්ව හිංසාවට පාවිච්චි කරන ආයුධ විෂාදිය නො දිය යුතු ය. මත්පැන් නො දිය යුතුය. අනර්ථයට හේතු වන ක්‍රීඩාභාණ්ඩාදිය නො දිය යුතුය. රෝගීන්ට අසත්ප්‍රාය ආහාරාදිය නො දිය යුතු ය. සත්ප්‍රාය දෙය වුව ද පමණ ඉක්මවා ඔවුනට නො දිය යුතුය. ගවාදි සතුන් දෙන කල්හි ඔවුනට නො සලකන අයට හා හිංසා කරන අයට නො දිය යුත්තාහ. කුනු වූ දිරූ දෙයක් අහක දමන්නාක් මෙන් අනාදරයෙන් නො දී ප්‍රතිග්‍රාහකයාට යහපතක් කිරීමේ අදහසින් කරුණා මෛත්‍රියෙන් ම දිය යුතු ය.
දාන වස්තුව පිළියෙල කිරීමේ දී ද දීමෙහි දී ද සිත පහදා ගෙන දිය යුතුය. දුන් පසු ද සිත පහදා ගත යුතුය. දුන් දෙය ගැන නැවත සොයන්නට නොයා යුතු ය. ප්‍රතිග්‍රාහකයන් නො වෙහෙසවා දිය යුතු ය. ප්‍රතිග්‍රාහකයන් ගෙන් හෝ අනිකකුගෙන් හෝ ප්‍රශංසා බලාපොරොත්තුව නො දිය යුතුය. ප්‍රත්‍යුපකාර බලාපොරොත්තුවෙන් නොදිය යුතුය. දීමෙන් සම්බෝධිය හෝ නිවන හැර අන් සැපතක් බලාපොරොත්තු නොවිය යුතුය. පැවිද්දන්ට දෙන කල්හි මා දෙන වස්තුවෙන් මුන් වහන්සේලා සුඛිත ව පහසුවෙන් පිළිවෙත් පුරා තම තමන්ගේ අභිමතාර්ථය සිදු කර ගනිත්වා යි සලකා දිය යුතුය. ගිහියන්ට දෙන කල්හි මාගේ වස්තුවෙන් මොවුහු සුඛිත වෙත්වායි, සලකා දිය යුතුය. තමන්ගේ දානය පිළිගත් අය ඉන් පසු කුමක් කෙරෙත් දැ යි වැඩි දුරට සොයන්නට නො යා යුතුය. එසේ කරන්නට යාමෙන් අපර චේතනාව නරක් වී කරගත් පිනේ ශක්තිය ද හීන විය හැකිය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 තේරුම නො දන්නා ගාථා කීම💫

 💫 තේරුම නො දන්නා ගාථා කීම💫

බොහෝ දෙනා මේ වැඳීම පිදීම ගාථා කියා ම කළ යුත්තකැ යි සිතා යම් කිසිවක් පාඩම් කර ගෙන එය කියා වඳිති. තමන්ට නො තේරෙන දෙයක් කියමින් එසේ වන්දනා කරන්නවුන්ට එයින් ලැබෙන්නේ ඥාන විප්‍රයුක්ත වූ දුබල කුශලයකි. ඒ දුබල කුශලයෙන්, වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන්නේයැ යි කියා ඇති උසස් අනුසස් නො ලැබෙන්නේ ය. එ බඳු කුශලයකින් මිනිස් ලොව උපදනේ ද දුබලයකු ව ම උපදී. දෙව්ලොව උපදනේ ද අල්පේශක්‍ය දෙවියෙක් වන්නේ ය. වන්දනා ගාථා ප්‍රයෝජන වන්නේ ඒවා තේරුම් ගෙන ඒවායින් කියවෙන ගුණ සිතට නඟා වන්දනා කළ හැකියන්ට පමණෙකි. පාළි ගාථාවල අදහස් තේරුම් ගෙන වැඳීම බොහෝ දෙනාට කළ හැක්කක් නො වන බැවින් මෙහි සිංහල වන්දනා පාඨයක් යොදා ඇත. එය පාඩම් කරගෙන එහි දැක්වෙන බුදුගුණ සලකා ගෙන එය කියා වන්දනා කිරීමෙන් ඥානසම්ප්‍රයුක්ත වන උසස් කුශල් අත්පත් කර ගත හැකිය.
මඟඵල ලබා නිවන් දැකිය හැකි වන්නේ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණකි. ඥානවිප්‍රයුක්ත කුශලයෙන් ලැබෙන්නේ ද්වීහෙතුක හෝ අහේතුක උත්පත්තිය ය. නිවන් පතා වුවද ඥානවිප්‍රයුක්ත කුසල් කොට ඒවායින් ද්වීහෙතුක හෝ අහේතුක උත්පත්ති ලබා සිටින විටෙකදී ලොවුතුරා බුදු කෙනෙකුන් හමු වුව ද ඔවුනට ඒ ජාතියේදි මඟඵල නො ලැබිය හැකි ය. නිව්න් නො දැකිය හැකිය. එබැවින් පින් කරන අවස්ථාවල ඥානසම්ප්‍රයුක්ත ත්‍රිහේතුක කුශලයන් ම ඇතිකර ගැනීමට උත්සාහ කළ යුතු ය. ත්‍රිහේතුක කුශල් ඇති කර ගත හැකි වීමට ගාථා කියා වැඳුම් පිදුම් කරන්නවුන් ඒවායේ තේරුම දැනගත යුතු ය. ගාථාවක තේරුම අසා බලා දැන ගත්තේ ද පාලි භාෂාව නො දන්නවුන්ගේ සිතට ගාථාව කියන කල්හි එහි තේරුම මතු වී නො එයි. කියන විටම තේරුම සිතට නැඟෙන්නේ තරමකටවත් පාලි භාෂාව දැන සිටින ආයට පමණකි. එබැවින් තේරුමත සමඟ ගාථා පාඩම් කර ගෙන තේරුමත් සමඟම කියා වැඳුම් පිදුම් වඩා හොඳ ක්‍රමය බව කිය යුතුය. මෙහි වන්දනා පූජා ගාථාවල තේරුම යොදා ඇත්තේ ඒ නිසාය. තේරුමත් සමඟම ඒවා කියා වැඳුම් පිදුම් කිරීමෙන් ඥානසම්ප්‍රයුක්ත කුශලයන් ඇති කර ගත හැකිය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 ප්‍රතිපත්ති පූජාව💫

 💫 ප්‍රතිපත්ති පූජාව💫

ලොවුතුරා බුදුබවට පැමිණ පන්සාළිස් වසරක් ලෝ වැඩ කළා වූ තථාගතයන් වහන්සේ පිරිනිවීම සඳහා කුසිනාරා නුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් උයනට වැඩ වදාරා සල් රුක් දෙකක් අතර පනවන ලද මඤ්චකයෙහි මතු නොනැගී සිටින සෙය්‍යාවෙන් ශයනය කළ කල්හි දෙවියෝ මල් සඳුන් සුණුවලින් හා සංගීතයෙන් හා අනේක තූර්යයෙන් ද පූජා පවත්වන්නට වූහ. ඒ මහා පූජාව පවත්වන කල්හි තථාගතයන් වහන්සේ ආනන්ද මහ තෙරුන් වහන්සේ අමතා මෙසේ වදාළ සේක.
“න ඛො ආනන්ද එත්තාවතා තථාගතො සක්කතො වා හොති ගරුකතො වා මානිතො වා පූජිතො වා අපචිතො වා යො ඛො භික්ඛුවා භික්ඛුනී වා උපාසකො වා උපාසිකා වා ධම්මානු ධම්මපටිපන්නො විහරති සාමිචිපටිපන්නො අනු ධම්මචාරි සො තථාගතං සක්කරොති ගරුකරොති මානෙති පූජෙති පරමාය පූජාය තස්මාතිහානන්ද ධම්මානුධම්ම පටිපන්නා විහරිස්සාම සාමිචිපටිපන්නා අනුධම්මචාරිනොති එවඤ්හි වො ආනන්ද සික්ඛිතබ්බන්ති”
(පරිනිබ්බාන සුත්ත)
තේරුම:
“ආනන්දය! මෙතෙකින් තථාගත තෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරන ලද්දේ හෝ සිතින් ආදරය කරන ලද්දේ හෝ පූජා කරන ලද්දේ හෝ අභිවාදනාදිය කරන ලද්දේ හෝ නොවේ. යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙමින් වෙසේ නම්, නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසෙයි නම්, හෙතෙමේ තථාගතයන් වහන්සේට සත්කාර කෙරේ. ගරු කෙරේ. සිතින් ආදරය කෙරේ. අභිවාදනාදිය කෙරේ. ආනන්දය එබැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිනීමේ පූර්වභාග ප්‍රතිපදාවෙහි යෙදෙන්නමෝ වෙමු යයි ද නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියෙහි යෙදෙන්නෝ වෙමු යයි ද, ධර්මයට අනුව හැසිරෙන්නමෝ වෙමු යයි ද මෙසේ හික්මිය යුතුය.
සැදැහැවත්හු තථාගතයන් වහන්සේට මල් පහන් සුවඳ ආහාර පාන යනාදිය බොහෝ පුදති. එහෙත් ඒවායින් උන්වහන්සේට උවමනාවක් නැත. ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත. උන්වහන්සේ බලාපොරොත්තු වන එක් දෙයක් ඇත. එනම් මහජනයා විසින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය. තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක් ගෙන පෙරුම් පුරා බුදු බව ලබා ගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්‍යග් ප්‍රතිපදාවෙහි යෙදවීම සඳහා ය. එ බැවින් උන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් එය උන්වහන්සේ තමන් වහන්සේට පූජාවක් කිරීමක් ලෙස සලකති. එබැවින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීම තථාගතයන් වහන්සේට පූජා කිරීමක් ද වේ. සුවඳ මල් ආදී ද්‍රව්‍යන් මෙන් තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නො වේ. මෙකල බොහෝ දෙනා “ඉමාය ධම්මනුධම්ම පටිපත්තියා බුද්ධං පූජෙමි” යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම්කිසි ප්‍රයෝජනයක් නොපෙනේ. නා නා විධ පූජ කොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කථා බොහෝ ගණනක් අපදාන විමානවත්ථු ආදී බණ පොත්වල දක්නා ලැබේ. ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියැවෙන කථාවක් කිසිතැනෙක නො දක්නා ලැබේ. ඉහත දැක්වූ දේශනා පාඨයෙන් කියැවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීම ම පූජාවක් වන බවය.
ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම් ගත් ඇතැම්හු බුදුරදුන් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨය යි වදාරා තිබෙනවාය දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජාය. ඒවා නො කළාට අප ළඟ ප්‍රතිපත්තිය තිබෙනවාය කියමින් නිකම් ම සිටිති. ගිහියාගේ සම්‍යක් ප්‍රතිපදාව (ප්‍රතිපත්ති පූජාව) පරිනිර්වාණ සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේ මෙසේය.
“යො පන තිසු සරණෙසු පඤ්චසු සීලෙසු දසසු සීලෙසු පරිපූරකාරි හොති මාසස්ස අට්ඨ උපොසථෙ කරොති, දානං දෙති, ගන්ධ පූජං මාලා පූජං කරොති, මාතරං උපට්ඨාති, පිතරං උපට්ඨාති, ධම්මිකෙ සමණබ්‍රාහ්මණෙ උපට්ඨාති, අයං ධම්මානුධම්ම පටිපන්නො නාම හොති.”
තේරුම:
යමෙක් තිසරණය පඤ්චශීලය දශශීලය සම්පූර්ණ කෙරේ ද, මාසයෙහි පොහෝ දින අටෙහි පෙහෙවස් වෙසේ ද, දන් දෙයි ද, සුවඳ පූජා කෙරේ ද, මල් පූජා කෙරේ ද, මවට උපස්ථාන කෙරේ ද, පියාට උපස්ථාන කෙරේ ද, ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේ ද, ඒ තැනැත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේ ය.
මේ අටුවා පාඨයෙන් දැක්වෙන දන් දීම සුවඳ මල් පිදීම මව්පියන්ට ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති බවය. ප්‍රතිපත්තිය සම්‍යක් ප්‍රතිපත්ති, මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාර වේ. මේ ප්‍රතිපත්ති පූජා කථාවෙහි අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය ය. එනම් බුදුරදුන් විසින් නො කළ යුතු යයි වදාළ දේවල් වලින් වැළකීමත් කළ යුතු යයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතු යයි වදාරා ඇති දානාදී පින්කම් වලින් කුමක් හෝ කෙරේ නම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ 💫

 💫 පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ 💫

කල්ප ලක්ෂ්‍යයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමය වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේ පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝ රුකට වැඳගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක් නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම් මේ බෝධීන් වහන්සේ ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා. මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතුවාය. එකෙණෙහි බෝ රුක දිලිසිණ. සියලු බෝ රුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණ. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මිල විසුවාය. සත්වන දින රාත්‍රියෙහි පූජාසනය මත පහන් දහසක් දැල්වූවා ය. ඒ පහන් පසු දින ඉර උදාවන තෙක්ම දැල්විණ.
පසු කාලයේ ඕ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුනක් උස තිස් යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති පහන් දැල්වෙන්නේ ය. ඇයට දක්නට කැමති උඩ යට සරස ඇති සියල්ල ඇසට පෙනෙන්නේ ය. ගස්වලින් පර්වතවලින් ඇයට ආවරණයක් නොවන්නේ ය. ඒ පිනෙන් ම ඕ අසූවරක දෙව්‍රදුන්ගේ බිසව වූවාය. සියවරක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑමතැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විඳ අන්තිම ජාතියේ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහි ම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් අවුරුදු වියෙහිම ඕ උපසම්පදාව ද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතසහස්සිතො කප්පෙ යං දීපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි. මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම් ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියකට නො පැමිණියෙමි. මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තේරුම ය.
(අපදාන පාළියෙන්)

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 කුශලාකුශල වන්දනා💫

 💫 කුශලාකුශල වන්දනා💫

මිසදිටුවෝ ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ මොහුය, මොවුනට වැඳුම් පිදුම් කිරීමෙන් දෙලොවටම යහපතක් වන්නේ යයි සලකා දෙවිවරුන්ට වැඳුම් පිදුම් කෙරෙති. ඔවුන්ගේ ඒ වන්දනාව දෘෂ්ටි සහගත බැවින් අකුශලයකි. බෞද්ධයෝ ද යමක් කරවා ගනු පිණිසත් ලබා ගනු පිණිසත් දෙවියන්ට හා ඇතැම් උසස් අයටත් වඳිති. ඇතැම් බෞද්ධයෝ සමහරවිට ඒ අදහසින් භික්ෂූන්ට ද වඳිති. ලෝභ සහගත සිතින් කරන ඒ වැඳීම් ද අකුශල පක්ෂයට අයත් වේ. එහෙත් ඒවා අපායට යන තරමේ අකුශල් නොවේ. නො වැඳ සිටිය හොත් මොහුගෙන් නපුරක් විය හැකි යයි සලකා රාජාදීනට බිය නිසා වඳිති. එයත් කුශල පක්ෂයට අයත් වන්දනාවක් නොවේ. ජාතික සිරිත් වශයෙන් කුලසිරිත් වශයෙන් කරන වන්දනාවක් ද ඇත්තේ ය. කරන්නවුන්ගේ අදහස් අනුව ඒවා කුශලාකුශල දෙපක්ෂයටම අයිති විය හැකි ය. කවර පක්ෂයට අයත් වුව ද ඒවායේ ද සැලකිය යුතු විපාක දාන ශක්තියක් නැත්තේ ය. මුන් වහන්සේ පවින් වැළකී සිටින්නා වූ සිල්වත් වූ මෛත්‍රී කරුණාදී ගුණවලින් යුක්ත වූ කෙලෙස් නැති කළා වූ හෝ නැති කිරීමට උත්සාහ කරන්නා වූ හෝ උත්තම පුද්ගලයෙකැ යි සලකා ලාභාපේක්ෂාවෙන් තොරව ශුද්ධ චිත්තයෙන් තමාගේ ගෞරවය දැක්වීම් වශයෙන් ගුණවතුනට කරන වන්දනාව මහත්ඵල මහානිසංස දායක කුශල වන්දනාව ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම💫

 💫 ගුණ ලැබෙන ලෙස පිරිත් කියයුතු අන්දම💫

පිරිතෙන් හොඳින් ම ගුණ ලැබෙන්නට නම් නොවරදවා හොඳින් පාඩම් කරගෙන පිරිත්වල අර්ථ (අදහස්) ද දැන ගෙන කිය යුතු ය. දැනට පිරිත් කියන අය අතර ඒවායේ තේරුම් දැන ගෙන කියන අය ගිහියන් අතර තබා පැවිද්දන් අතර ද ඉතා හිඟය. තේරුමක් නැති ව කියන පිරිතේ බලය අඩු ය. එහෙත් ගුණයක් නො ලැබෙන්නේ ද නොවේ. පිරිත නො වරදවා පාඩම් කරගෙන හරියට කියතහොත් එයින් ද තරමකට ගුණ ලැබේ. එසේ ගුණ ලැබෙන්නේ වචනවල හෙවත් ශබ්දවල යම්කිසි බලයක් ඇති නිසාය. වචනවල ඇති බලය එතරම් මහත් එකක් නොව සුළු බලයෙකි. වාර බොහෝ ගණනක් කීමෙන් ඒ බලය වැඩි වේ. පිරිත්, සෙත් කවි, මන්ත්‍ර‍ වාර බොහෝ ගණනක් කිය යුත්තේ ඒ නිසා ය. කියන වාර වැඩි වූ තරමට ගුණය වැඩි වේ. පිරිත් හඬෙහි බිය ගන්වනබලය, බිය දුරු කරන බලය, වශීකරන බලය හෙවත් අන්‍යයන්ගේ සිත් සතුටු කරන සිත් ඇදගන්නා බලය, ශරීරයේ වා පිත් සෙම් යන තුන්දොස් සමනය කිරීමේ බලය, ශරීරයේ සප්ත ධාතූන් වර්ධනය කිරීමේ බලය, නොයෙක් වේදනා නොයෙක් රෝග දුරු කිරීමේ බලය, සැප සම්පත් ලබාදීමේ බලය, අමනුෂ්‍යයන්ගෙන් සොරුන්ගෙන් සතුරන්නේ සර්පයන්ගෙන් ආරක්ෂා කිරීමේ බලය, ග්‍ර‍හ අපල ඇස්වහ කටවහ ආදි දෝෂ දුරු වීමේ බලය යනාදි නොයෙක් බල ඇත්තේ ය.
මන්ත්‍ර‍ලට ගෙන ඇති වචනවලට හොඳ නරක දෙක ම සිදු කිරීමේ බල ඇත්තේ ය. රෝග සුව කිරීමේ බල, රෝග ඇති කිරීමේ බල, සිත් සන්සුන් කිරීමේ බල, සිත් වික්ෂිප්ත කොට උමතු කිරීමේ බල, අමනුෂ්‍යයන් දුරු කිරීමේ බල, ඔවුන් ගෙන්වීමේ බල, සමගි වූවන් භේද කිරීමේ බල, භේද වූවන් සමගි කිරීමේ බල, ඉන්නා තැනින් පන්නා දැමීමේ බල, අන්‍ය්‍යන්ගේ සිත් ඇද ගන්න බල යනාදි අනේක ප්‍ර‍කාර බල මන්ත්‍ර‍වල, කවිවල ඇත්තේ ය.
පිරිත් අතුරෙන් කරණීය මෙත්ත සූත්‍ර‍ය බෙහෙවින් වශීකරණ බලය ඇති සූත්‍රයෙකි. එය බොහෝ කොට භාවිත කිරීමෙන් ජනප්‍රිය පුද්ගලයකු විය හැකි ය.
අන් සෑම පිරිත් සූත්‍ර‍යකට වඩා ලස්සනට මිහිරියට කිය හැකි සූත්‍ර‍ය කරණීය මෙත්ත සූත්‍ර‍ය ය. එහි වඩාත් වශීකරණබලය ඇත්තේ ඒ නිසා ය. දික් අකුරු කෙටි අකුරු අල්ප අකුරු මහප්‍රාණ අකුරු වරදවන්නේ නැතිව වචන මැදින් බිඳින්නේ නැතිව එක් වචනයක් අග හෝ මුල් අකුරක් අන්වචනයකට එකතු නො කර වෘත්තය නොබිඳ නියම තාලයට මේ සූත්‍ර‍ය කියන්නට පුරුදු කරගත යුතු ය. මේ ගාථා, ගාථා තාලයට මිස මන්ත්‍ර‍ කියන තාලයට වේගයෙන් නො කිය යුතු ය. එසේ නියම තාලයට නො වරදවා මේ සූත්‍ර‍ය කියතහොත් එහි අර්ථ නො තේරෙතත් ගුණ ලැබෙනු ඇත. සමහරවිට වරදවා කියන පිරිත්වලින් මන්ත්‍ර‍වලින් දොස් ඇති වන්නට ද බැරි නැත. තේරුම් නො දැන වුවද පිරිත හරියට කියත හොත් ශබ්දයෙන් ලැබෙන ගුණය ලැබෙන්නේ ය.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 බුද්ධ භූමි සතර💫

 💫 බුද්ධ භූමි සතර💫

උත්සාහය, උම්මග්ගය, අවත්ථානය, හිතචරියාය යන මොහු බුද්ධ භූමීහු ය. මෙහි උත්සාහ යනු දානාදි ක්‍රියා විෂයෙහි නො පසුබස්නා වූ ඉදිරියට ම යන්නා වූ ස්වභාවය ය. උම්මග්ග යනු පැරුම් පිරීමේ නො වරදින උපායයන් දැනීමෙහි සමර්ථ වූ තියුණු වූ ප්‍රඥාව ය. අවත්ථාන යනු කොතෙක් බාධා පැමිණියත් කොතෙක් අමාරුකම් පැමිණියත් පවත්වා ගෙන යන දානාදි ක්‍රියා විෂයෙහි, පවත්වා ගෙන යන ප්‍රතිපත්තියෙහි නො සැලී සිටීම ය. හිතචරියා යනු තමන්ට වරද කරන්නා වූ සත්ත්වයන් ද නො හැර සකල සත්ත්වයන් කෙරෙහි ම මෛත්‍රිය හා කරුණාව පැවැත්වීම ය. බුදුවීමට සෑහෙන පමණ පින් රැස් කිරීම ඉතා ම දුෂ්කර කාර්‍ය්‍යයෙකි. කියන ලද කරුණු සතරෙහි නො පිහිටියවුන්ට පාරමිතාව සම්පූර්ණ නො කළ හැකි ය. පැරුම් පිරීමට අතිශයින් උපකාරක බැවින් මේ කරුණු සතර බුද්ධභූමි නම් වේ

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 මාරයෝ පස්දෙන💫

 💫 මාරයෝ පස්දෙන💫

දේව පුත්‍ර‍ මාර ය, ක්ලේශ මාර ය, අභිසංස්කාර මාරය, ස්කන්ධ මාරය, මෘත්‍යු මාර ය යන මේ පස් දෙන මාරයෝ ය.
දේවපුත්‍ර‍ මාරයා ය කියනුයේ දිව්‍ය ලෝකවලින් උසස් දිව්‍ය ලෝකය වන පරනිර්මිත වශවර්තී නම් දෙව්ලොව එක් පෙදෙසක අධිපතිකම් කරන දෙවියෙකි. ඔහුගේ විෂය ඉක්මවන්නට තැත් කරන බෝසතුන්ට ඔහු විරුද්ධ ය. මහ බෝසතුන් මරන්නට තැත් කරයි. එබැවින් ඔහුට මාරය යි කියනු ලැබේ. එදා මහා බෝධි සත්ත්වයන් වහන්සේ බෝධි මූලයේ අපරාජිත පර්‍ය්‍යඞ්කයේ වැඩ සිට පළමුවෙන් ම උන් වහන්සේ හා යුදයට පැමිණි ඒ වසවත් මරු පරාජය කළහ. ක්ලේශ මාර යනු එක් දහස් පන්සියයක් ක්ලේශයෝ ය. සත්ත්වයනට නැවත නැවත මැරෙන්නට සිදු වන්නේ ඒ ක්ලේශයන් නිසා ය. එබැවින් ක්ලේශයෝ මාර නම් වෙති. අභිසංස්කාර මාර යනු කුශලාකුශල කර්මයෝ ය. ඉපදීමක් නැතහොත් මරණයක් නැත. මරණය ඇත්තේ ඉපදීම නිසා ය. ඉපදීම ඇති කරන කර්මය මරණය ද ඇති කරන්නක් වශයෙන් සලකා එය මාරයා ය යි කියනු ලැබේ. ස්කන්ධ මාර යනු පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධයක් නැතහොත් මරණයක් නැත. මරණය ඇත්තේ පඤ්චස්කන්ධය නිසා ය. එබැවින් පඤ්චස්කන්ධයට ද මාර යන නම දී ඇත්තේ ය. මෘත්‍යු මාර යනු ස්වභාවික මරණය ය. මහා බෝධිසත්වයන් වහන්සේ ඒ වෙසත් මස පුණු පොහෝ දින රාත්‍රියේ පශ්චිම යාමයේ දී අර්හත් මාර්ග ඥානය උපදවා ගැනීමෙන් ක්ලේශ මාරාදි මාරයන් සතර දෙන පරාජය කොට බුද්ධත්වයට පැමිණි සේක.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

💫 මහා බෝධිසත්ත්වයන් ගේ අද්ධ්‍යාශය සය 💫

 💫 මහා බෝධිසත්ත්වයන් ගේ අද්ධ්‍යාශය සය 💫

නෙක්ඛම්මජ්ඣාසය ය, පවිවේකජ්ඣාසය ය, අලෝහජ්ඣාසය ය අදෝසජ්ඣාසය ය, අමෝහජ්ඣාසය ය, නිස්සරණජ්ඣාසය ය යන මේ සදෙන මහාබෝධි සත්ත්වාධ්‍යාශයයෝ ය. ගස්වල ස්ථීර පැවැත්මට ඒවායේ අරටුව උපකාර වන්නාක් මෙන් ම මහ බෝසත්නට බෝධිචර්‍ය්‍යාවෙහි ස්ථිර ව පිහිටා සිටීමට මේ අධ්‍යාශය ධාතු සය අතිශයින් උපකාර වේ. අරටුව නැති ගස මඳ සුළඟක් හැමූ විට බිඳ වැටෙන්නාක් මෙන් අධ්‍යාශය ධාතු නමැති හරය බෝසතුන් ගේ සන්තානයෙහි නො වේ නම් ඔවුහු කලෙක දී බෝධිචර්‍ය්‍යාවෙන් පහවන්නාහ. සම්බෝධිය දක්වා නොයන්නාහ.
නෙක්ඛම්මජ්ඣාසය යනු ගිහිගෙයින් බැහැර වීමේ අදහස ය. මහබෝසත්හු කාමයන් කෙරෙන් හෙවත් ගිහිගෙයින් නික්මෙන අදහස් ඇත්තෝ ය. ගිහිගෙයි විසීමේ දෝෂ දක්නෝ ය. නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය ධාතුව නැමැති අරටුව ස්වසන්තානයෙහි ඇත්තා වූ මහ බෝසත්හු ගැඹුරු දියේ ගිල්වා බැඳ තිබූ සිදුරු නැති ලබු කැට වැනියහ. දිය යට තිබෙන සිදුරු නැති ලබු කැටයේ ස්වභාවය දියෙන් මතු වන බව ය. එය දිය යට පවත්නේ උඩට ඇදී ගෙන ම ය. බැම්මෙන් මිදුණු වහා ම එය ජලය මතුවට පැමිණෙන්නේ ය. එමෙන් නෛෂ්ක්‍රම්‍යධාතු සාරය අභ්‍යන්තරයෙහි ඇති ව ගිහි ගෙයි පස්කම් සැප විඳිමින් සිටින මහබෝසත්හු කරුණක් ඉදිරිපත් වූ වහා ම ධනය හැර අඹුදරුවන් හැර ඥාති මිත්‍රයන් හැර රජකම් පවා හැර පැවිදි වන්නාහ.
මහබෝසත් මහා ජනක රජතුමාට අඹගස් දෙක දැකීමෙන් රජය හැර පැවිදි විය හැකි වූයේ එතුමා කෙරෙහි නෛෂ්ක්‍රම්‍ය ධාතු සාරය තුබූ නිසා ය. නෛෂ්ක්‍රම්‍ය ධාතුව සන්තානයෙහි නැතියවුන්ට විශාල සම්පත්තීන් තබා රුපියලක් දෙකක් වටනා දෙයකුදු නො හළ හැකි ය. ඔවුහු ගැඹුරු දිය යට තිබෙන ගල්කැට වැනිය හ. දිය යට තිබෙන ගල්කැටය යටට ම බර වී තිබෙන්නාක් මෙන් ඔවුහු කාමයන්හි ම ගැලී සිටින්නාහ.
පවිවේකජ්ඣාසය යනු විවේක ගැනීමේ අදහස ය. විවේකයට කැමැත්ත ය. මහබෝසත්හු විවේක ගන්නා අදහස් ඇත්තෝ ය. පුත්‍රදාර ඥාතිමිත්‍රාදීන් පිරිවරා ගෙන ඔවුන් මැද වීසීමේ දොස් දක්නෝ ය. විවේකාධ්‍යාශ ධාතුව සන්තානයෙහි නැත්තා වූ පුත්‍රදාර ඥාතිමිත්‍රාදීන් පිරිවරාගෙන ඔවුන් හා ගැටි ගැටී සීටීමේ තෘෂ්ණාව ඇති තැනැත්තාහට පිරිසෙන් බැහැර ව නො විසිය හැකි ය. විවේකයට පැමිණියේ ද හේ ඒ තෘෂ්ණාවෙන් නැවතත් ඥාති මිත්‍රාදීන් කරා පමුණුවනු ලබන්නේ ය. විවේකයට සතුටක් ඔහුට නැත. විවේකය ඔහුට සිර ගෙයක් වැනිය.
මහාබෝසත්නට අරණ්‍ය - වෘක්ෂමූලාදියට පැමිණ පුත්‍රදාරා ඥාති-මිත්‍රාදීන්ගෙන් වෙන් ව එකලාව විසිය හැකි වන්නේ අභ්‍යන්තරයෙහි ඇති පවිවේකජ්ඣාසය ධාතුව නිසාය. සිරගෙයි ලා සිටින තැනැත්තා ඉන් පිට වුවහොත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු වහා සොයා නැවතත් සිරගෙයි හිඳුවන්නාක් මෙන් පවිවේකජ්ඣාසය ධාතු සාරය සන්තානයෙහි ඇති තැනැත්තා ජනයා අතරට පැමිණියේ ද ඒ පවිවේකජ්ඣාසය ධාතුවෙන් නැවත විවේකස්ථානයට ම ගෙන යනු ලබන්නේ ය.
අලෝභජ්ඣාසය යනු ලෝභයට ප්‍රතිපක්ෂ වූ අදහස ය. මහබෝසත්හු අලෝභාධ්‍යාශය ඇත්තෝ ය. ලෝභයේ දොස් දක්නෝ ය. සන්තානයෙහි අලෝභාධ්‍යාශ ධාතුව නැත්තා වූ තැනැත්තා හට ශතයක් දෙකක් වටනා දෙයක් පරිත්‍යාග කිරීමත් බර වැඩෙකි. අලෝභාධ්‍යාශය ඇති බැවින් මහ බෝසත්තනට පහසුවෙන් ම ධනය පරිත්‍යාග කළ හැකිය. රාජ්‍යයන් පරිත්‍යාග කළ හැකි ය. අඹුදරුවන් පරිත්‍යාග කළ හැකිය. ශරීරාවයවයන් පරිත්‍යාග කළ හැකිය. ජීවිතය ද පරිත්‍යාග කළ හැකි ය. අලෝභාධ්‍යාශ නැමැති ධාතු සාරය සන්තානයෙහි ඇති බෝසත්නට අමාරුව දන් දීම නො ව දන් නොදී විසීම ය.
අදෝසජ්ඣාසය යනු ද්වේෂයට ප්‍රතිපක්ෂ වූ අදහස ය. මහ බෝසත්හු අද්වේෂාධ්‍යාශය ඇත්තෝ ය. ද්වේෂයේ දොස් දක්නෝ ය. අද්වේෂාධ්‍යාශය නැත්තෝ සුළු කරුණකට ද තදින් කිපෙති. අද්වේෂාධ්‍යාශ ධාතුව සන්තානයෙහි පිහිටියා වූ මහ බෝසත්හු තමන් ගේ ජීවිතයට අනතුරු කරන්නා කෙරෙහි පවා නො කිපෙති.
අමෝහජ්ඣාසය යනු මෝහයට ප්‍රතිපක්‍ෂ වූ අදහස ය. මහ බෝසත්හු අමෝහාධ්‍යාශ ඇත්තෝ ය. මෝහයේ දෝෂ දක්නෝ ය. අමෝහාධ්‍යාශය ධාතුව සන්තානයෙහි නො පිහිටි සත්ත්වයනට හොඳ නරක කළ යුත්ත නො කළ යුත්ත දැන ගැනීමට දුෂ්කර ය. ස්කන්ධාදි ධර්මයන් ගේ තතු අනුන් කියනු ඇසුයේ ද ඔවුනට නො වැටහේ.
නිස්සරණජ්ඣාසය යනු සංසාර දුඃඛයෙන් මිදීමේ අදහස ය. මහබෝසත්හු නිශ්ශරණාද්ධ්‍යාශය ඇත්තෝය. භවයේ හෙවත් සංසාරයේ දොස් දක්නෝය, නිශ්ශරණාද්ධ්‍යාශය ධාතුව සන්තානයෙහි නො පිහිටි පුද්ගලයන් කෙරෙහි භව තණ්හාව තදින් පවතී. එයින් ඔවුනට විදර්ශනා භාවනාදී භවයෙන් මිදීමේ පිළිවෙත්හි යෙදීමට අවකාශ නො දෙනු ලැබේ. ඔවුහු භව සම්පත්තිය පතා සංසාරය දික් වන පින් කම් පමණක් කරති. තෘෂ්ණාවෙන් දූෂණය වන බැවින් ඔවුන්ගේ කුශලයෝ පාරමී සංඛ්‍යාවට නො පැමිණෙති.

උපුටා ගැනීම: ධර්ම ග්‍රන්ථ Whatsapp Group

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...