Monday, 15 June 2020

තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය



තම ඉඳුරන් රැකගන්නා – නුවණැතියන් හරි අගේය

“මනුෂ්‍යයන්ට තියෙන මේ ඇස් කන් ආදි ඉඳුරන් තමන්ගේ යහපතට යොදා ගන්නටත් පුලුවන්. අයහපතට යොදා ගන්නටත් පුලුවන්. ඒ ඉඳුරන් රැක නො ගත්තොත් අයහපත පිණිසයි පවතින්නේ. රැක ගත්තොත් පහසුව පිණිසයි පවතින්නේ.

ඒ නිසා තම කටයුතු යහපත් ලෙස කරන, අනුන් නො වෙහෙසන තැනැත්තා ඇස් කන් ආදි ඉඳුරන් හොඳින් රැකගන්න ඕන. හොඳින් හසුරුවන්න ඕන.”

අමෘතයක් බඳු වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, ලොව පරම සැපය වූ නිර්වාණ සුවයට පත්, නිවී ගිය ජීවිතයක් උපදවා ගත් පාරාසරිය මහ රහතන් වහන්සේ විසිනුයි මේ උතුම් ගාථාවන් වදාළේ. තමන්ගේ ජීවිතයේ යහපත ගැන හිතන කෙනෙක් විසින් කළ යුතු දෙයක් ඒ උතුම් රහතන් වහන්සේ මෙයින් කියා දෙනවා. ඒ තමයි ‘තම ඉඳුරන් සංවර කරගැනීම’. ඉන්ද්‍රිය සංවර කිරීම බුදුරජාණන් වහන්සේ විසින් ‘ඉන්ද්‍රියයන්ගේ වසාගත් දොරටු ඇති බව’ කියලත් හැඳින්වූවා. එය ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විසින් සුරකින සීලයක්. වරක් බුදුරදුන් හමුවට පැමිණ දහම් කතාවක් ඇසූ ගණක මොග්ගල්ලාන නම් බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසුවා.

‘භවත් ගෞතමයාණෙනි, මේ ධර්ම විනයේ අනුපිළිවෙළ වූ හික්මීමක්, අනුපිළිවෙළ වූ ප්‍රතිපදාවක්, අනුපිළිවෙළින් කරන ක්‍රියාවක් තිබෙනවා ද?’

‘භවත් මොග්ගල්ලානයෙනි, මේ ධර්ම විනයේ අනුපිළිවෙළ වූ හික්මීමක්, අනුපිළිවෙළ වූ ප්‍රතිපදාවක්, අනුපිළිවෙළින් කිරීමක් පෙන්වා දෙන්න පුලුවනි’ යි ඒ බ්‍රාහ්මණයාහට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.

එම අනුපිළිවෙළ ප්‍රතිපදාවේ ආරම්භය යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව, ඉතා කුඩා වරදෙත් බිය දකිමින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සිල්වත් වීමයි. එසේ සිල්වත් වන භික්‍ෂුව මීළඟට හික්මිය යුත්තේ ඉන්ද්‍රිය සංවරය තුළයි. එය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අයුරින් පෙන්වා දී වදාළා.

“පින්වත් භික්‍ෂුව එන්න, ඇස් කන් ආදි ඉඳුරන් හොඳින් සංවර කරගෙන ඉන්න. ඒ කියන්නේ ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවරව ඉන්න කොට ලෝභ, ද්වේශ ආදී පාපී අකුසල ධර්මයන් තමාගේ පස්සෙන් පන්නවා නම් ඇසින් රූප දැක එබඳු නිමිති නො ගෙන ඉන්න. ඒ නිමිතිවල කොටසක්වත් නොගෙන ඉන්න. ඇස සංවර කරගැනීමට පිළිපදින්න. ඇස නම් වූ ඉන්ද්‍රිය රකින්න. ඇස නම් වූ ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙන්න…”

මේ අයුරින් ම කනට ඇසෙන ශබ්දවලින්, නාසයට දැනෙන ගඳ සුවඳවලින්, දිවට දැනෙන රසයෙන්, කයට දැනෙන පහසින් හා මනසට උපදින අරමුණු වලින් ඒ ඒ ඉන්ද්‍රියයන් රැක ගත යුතු බව එම දේශනාවේදී පෙන්වා දී වදාළා.

ඇයි මේ ඉඳුරන් සංවර කළ යුත්තේ?

ඉන්ද්‍රියයන් සංවර කිරීමේ වටිනාකම තේරුම් ගන්නේ බුදු රදුන්ගේ ආර්ය ශ්‍රාවකයෙකු පමණයි. සංවර නො කරන ලද ඉන්ද්‍රියයන් හේතුවෙන් ඇතිවන අනතුර බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ පෙන්වා දී වදාළා.

“පින්වත් මහණෙනි, ගිනි ඇවිලගත්, මුලුමනින්ම ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් විහිදෙන, ගිනියම් වූ යකඩ ආයුධයකින් ඇස නැමැති ඉන්ද්‍රිය අතුල්ලන එක වඩා වටිනවා. නමුත් ඇසින් දත යුතු රූප ගැන නිමිති සටහනක්වත් ගන්න එක හොඳ නෑ. පින්වත් මහණෙනි, රූප නිමිත්තෙහි ආශ්වාදයට ගිජු වූ හෝ රූප නිමිත්තෙහි කොටසක ආශ්වාදයට ගිජු වූ හෝ විඤ්ඤාණයක් තිබෙන විටක කලුරිය කළොත් තිරිසන් යෝනිය හෝ නිරය කියන ගති දෙකෙන් එක්තරා ගතියක උපදිනවා යන කරුණ විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, මම මේ ආදීනවය දැකලයි ඔහොම කියන්නේ…’

මේ අයුරින් ඉඳුරන් හය ම අසංවරව සිටීමේ අනතුර ආදිත්ත පරියාය සූත්‍රයේ දී අපගේ බුදුරජාණන් වහන්සේ මනාව පෙන්වා දෙනු ලැබුවා.

ඇත්තෙන්ම සම්බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තිබෙන, ප්‍රේමයක් තිබෙන, දුක් සහිත සංසාරගත ජීවිතයෙන් නිදහස් වෙන්නට කැමති කෙනෙකුටයි ඉන්ද්‍රිය සංවර කිරීමේ වීර්යය උපදින්නේ. එය ඔහුගේ ජීවිතය දුක් නිවන මාර්ගයේ යොදවන පධාන වීර්යයක් බවට පත් වෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ ඒ ඉන්ද්‍රිය සංවරය හඳුන්වන්නේ ‘සංවරප්පධානය’ කියලයි.

ඒ වගේම මේ අයුරින් ඉඳුරන් සංවර කරගන්නා ශ්‍රාවකයාහට අසංවර බව නිසා හටගන්නා පීඩාකාරී වූත්, දැවිලි සහිත වූත් ආශ්‍රව හටනොගන්නා බවත් බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයේදී පෙන්වා දී වදාළා.

මේ ජීවිතය නුවණින් ගතකරන්නට කැමති කෙනෙක්, යහපතට කැමති කෙනෙක් අනිවාර්යයෙන් ම ඉන්ද්‍රිය සංවර කිරීම ගැන තම අවධානය යොමු කළයුතුයි. හැබැයි ඒ සඳහා ඔබට ආර්ය දර්ශනයක් නැති, අසත්පුරුෂයන් බහුල මේ සමාජයෙන් නම් උපකාර ලැබෙන්නේ නෑ. ආර්ය දර්ශනය නොමැති අන්ධබාල ලෝකයා විසින් නිපදවන තාක්‍ෂණික උපකරණ වේගයෙන් ඔබේ ඉඳුරන් අසංවර කර දමාවි. මේ ඉඳුරන් අසංවර වූ මොහොතේ ලබන සුලු ආශ්වාදය සැපයක් සේ හැඟුනත් අසංවර වූ ඉඳුරන් හේතුවෙන් අප රැස් කරන්නේ දුකයි.

සියල්ල අවබෝධ කළ, අනාවරණඤාණී වූ තුන් ලොවට මහා සත්පුරුෂයාණන්, කල්‍යාණ මිත්‍රයාණන් වූ සම්බුදුරජාණන් වහන්සේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේදී මෙය පෙන්වා දී වදාළා.

“සිහි මුළා වෙලා ඇහෙන් රූප දකිනකොට එයා එහි ප්‍රිය සටහන් සිහි කරනවා. එතකොට ඒක විඳින්න සිදුවෙන්නේ ඇලුණු සිතින්. ඒකෙම සිත බැසගන්නවා. එතකොට ඒ රූපය නිසා ඇතිවෙන නොයෙක් විඳීම් එයා තුළ හටගන්නවා. එයාගෙ හිත ආශාවෙන්, අසහනයෙන් පෙළෙනවා. මේ විදිහට දුක් රැස්කරනකොට තමයි නිවනින් ඈත් වුණා කියලා කියන්නේ”

මේ අයුරින් සිහි මුළාවෙන් යුතුව ඉඳුරන් හසුරුවද්දී හැම ඉන්ද්‍රියයක් හේතුවෙන් ම රැස්වන්නේ දුක ම යි. සිදුවන්නේ නිවනින් ඈත් වීම ම යි. ඔහුට මේ ජීවිතයේදී ම මහා අසහනයක්, පීඩාකාරී බවක් තමයි උරුම වෙන්නේ. එපමණක් ද? ඒ කිළිටි සහගත ජීවිතයට මරණින් මතු කෙතරම් දුකක් උරුම වේවිද?

ඒ නිසා ඉන්ද්‍රිය අසංවර වීමේ ආදීනව නිරතුරු සිහිකළ යුතු බව රහතන් වහන්සේලා විසින් පෙන්වා දී තිබෙනවා. ඉන්ද්‍රියයන් හැසිරවීමේදී හොඳ සිහියකින් හා නුවණකින් යුතුව වාසය කරයි නම් ඔහුගේ ඉඳුරන් හේතුවෙන් දුක් වැඩෙන්නේ නෑ.

“සිහි නුවණ පිහිටුවා ගත්තු කෙනා රූපයක් දැක්කම ඒ රූපයට ඇලෙන්නේ නෑ. එයා ඒක විඳින්නේ නොඇලුණු සිතින්. ඒ රූපය ගැන එයාගේ සිත බැසගන්නේ නෑ. එයා රූපය දකින ආකාරයෙන්, ඒ විඳීම සේවනය කරන ආකාරයෙන් තමයි ඒ විදිහට කෙලෙස් ගෙවිලා යන්නේ. එතකොට රැස්වෙන්නේ නෑ. ඔන්න ඔය විදිහටයි එයා සිහියෙන් හැසිරෙන්නේ. ඔය විදිහට දුක අයින් කරනකොට නිවනට ළං වුණා කියලා කියනවා.”

ඉන්ද්‍රියයන් හය ම මේ අයුරින් සංවර කරගත්තොත් ජීවිතයට සැලසෙන යහපත බුදුරජාණන් වහන්සේ විසින් මාලුක්‍යපුත්ත සූත්‍රයේදී පෙන්වා දී වදාළා. ඉන්ද්‍රියයන් අසංවර වන බලවත් අරමුණු තමා ඉදිරියට පැමිණ තිබෙද්දී පවා මනා සිහියෙන් හා මනා නුවණින් යුතුව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා තම ඉන්ද්‍රියයන් සංවර කරගෙන පිරිසිදු සිල් ඇතිව වැඩ සිටියා. නමුත් හීන වීරිය ඇති, ශ්‍රද්ධා රහිත වූ ඇතැම් භික්ෂූන් තම ඉඳුරන්හි සංවරය බිඳගෙන සීල විපත්තියට පැමිණියා. ඇතැම් භික්ෂූන් උතුම් පැවිදි බව අත්හැර සතර අපායෙන් යුතු සසරට ම නැවත ඇද වැටුනා.

වරක් අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ විසින් උදේන රජ්ජුරුවන් හට වදාළේ කළු කෙස් තියෙන, භද්‍ර යොවුන් වියෙහි සිටින මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තය තෙක් පිරිපුන් පිරිසිදු බඹසර දිගු කලක් නොසිඳ පවත්වනවා නම් එයට එක් හේතුවක් වන්නේ භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ව ඉන්ද්‍රිය සංවරය තුළ හික්මවා ඇති නිසා බවයි.

පැවිද්දන් පමණක් නොව ගිහියන් ද ඉන්ද්‍රිය සංවරයෙන් තොරව වාසය කළහොත් ඔවුන්ට නිරන්තරයෙන් ඇලීම් ගැටීම් නිසා නොයෙක් අසහනයන්ට මුහුණ දීමටත් සීලය පළුදු කරගෙන මරණින් මතු අපායගාමී වීමටත් සිදුවෙනවා. ඒ නිසා යම් කෙනෙක් තමාගේ ඉඳුරන් මනාව ආරක්‍ෂා කරගත්තොත් ඔහු ඉෂ්ට අනිෂ්ට අරමුණු වලදී නොසැලෙන ජීවිතයක් උපදවා ගන්නට වාසනාවන්ත වෙනවා. ඔහු තුළ උපදින ඒ ඉන්ද්‍රිය සංවරය මුලු මහත් නිවන් මඟම සම්පූර්ණ කර ගන්නට හේතු වෙනවා. ඒ බව අපගේ ශාස්තෘන් වහන්සේ කුණ්ඩලිය සූත්‍රයේදී මේ අයුරින් දේශනාකොට වදාළා.

“කුණ්ඩලිය, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක මනාප අරමුණට ආශා නොකරයි. එයින් ලැබෙන සතුටින් නොපෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ කය වෙනස් නොවී සිටියේ වෙයි. සිත සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි.

ඇසින් ම අමනාප රූපයක් දැක නොහැකිලෙයි. නොසංසුන් සිත් නැත්තේ වෙයි. බැගෑපත් සිත් නැත්තේ වෙයි. දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ කය සිටියේ වෙයි. සිත ත් සිටියේ වෙයි. ආධ්‍යාත්මයෙහි මැනැවින් පිහිටියේ වෙයි. මැනැවින් මිදුණේ වෙයි.”

මේ අයුරින් ඉඳුරන් සියල්ල මනාව සංවර කරගත් කළ එසේ පුරුදු කරන ලද, බහුලව පුරුදු කරන ලද ඉන්ද්‍රිය සංවරයෙන් ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ කරවනවා. ත්‍රිවිධ සුචරිතය මැනවින් වඩද්දී සතර සතිපට්ඨානය සම්පූර්ණ වන බවත්, මැනවින් සතර සතිපට්ඨානය වඩද්දී සප්ත බොජ්ඣංගයන් සම්පූර්ණ වන බවත්, සප්ත බොජ්ඣංගයන් මැනවින් වඩනාවිට විද්‍යා විමුක්ති සම්පූර්ණ වන බවත් බුදුරජාණන් වහන්සේ ඒ උතුම් සූත්‍රයේදී පෙන්වා දී වදාළා.

ඉන්ද්‍රිය සංවරය නම් වූ මේ උතුම් ගුණය පුරුදු කරන ලද්දේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් විසිනුයි. එය දුර්වල වූ, බලවත් අධිෂ්ඨානයක් නැති, හීන වීරියක් ඇති, සිහි මුළා වූවන්ගේ දෙයක් නොවේ. ඒ උතුමන් මහත් වීරියෙන් ඉඳුරන් රැකගෙන, සංවර කරගෙන දුක් දුරු කරගනු ලැබුවා. අමා නිවනට සමීප වුණා. ඒ අමා නිවන් සුවය සාක්‍ෂාත් කොට වදාළා. ඒ උතුමන්ව දෙවිවරු පවා නිතැතින්ම ප්‍රිය කරනවා.

“දක්‍ෂ රියැදුරෙක් විසින් ඉතා හොඳින් හීලෑ කරපු අශ්වයන් වගේ යම් කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියයන් හොඳින් හීලෑ කරගත්තා නම්, මාන්නය නැති කරපු , කෙලෙස් නැති කරපු අකම්පිත සිත් ඇති ඒ රහතන් වහන්සේට දෙවියන් පවා කැමතියි.”

(ධම්ම පදය)

ඉඳුරන් දමනය කිරීම ගැන ලොවට දේශනා කළ ශාස්තෘන් වහන්සේ ගැන සිත් පහදවා ගෙන, මැනවින් ඉඳුරන් දමනය කළ උතුම් සඟ රුවනේ ගුණ සිහි කරමින්, නිති වන්දනා කරමින් ඒ උතුම් ධර්මයට සත්කාර කරමින් ධර්මයට අනුවම ඉඳුරන් හොඳින් දමනය කරගෙන අමා නිවනට ළං වෙන්නට අපටත් වාසනාව ලැබේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි

උපුටා ගැනීම: සදහම් සේවාව වට්සැප් ගෲප් එකෙනි.

තිත්තිර ජාතකය - වැඩිහිටියන්ට සැලකීමේ ආනිසංස



තිත්තිර ජාතකය

පින්වතුනේ, පින්වත් දරුවනේ, වැඩිමහල්ලන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක දකින්ට ලැබෙන එක් ප්‍රධාන ලක්ෂණයක්. බුද්ධ කාලයේ පවා මඳ නුවණින් යුතු භික්ෂූන් අතින් වැඩිහිටියන්ට ගරු කිරීම නැති වූ අවස්ථා ඇතිවී තියෙනවා. ඒ හේතුවෙන් මහෝත්තම භික්ෂූන් වහන්සේලා පවා අපහසුතාවන්ට පත්ව තියෙනවා. මෙය එබඳු කතාවක්.

අනාථපිණ්ඩික සිටුතුමා පනස් හතර කෝටියක් වියදම් කොට ජේතවනාරාමය පිළියෙල කළා. දූතයන් මාර්ගයෙන් භාග්‍යවතුන් වහන්සේට ඒ බව දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවරින් පිටත් වෙලා විශාලා මහනුවරට වැඩම කරලා හිටියේ. ඉතින් භික්ෂු සංඝයාත් සමග සැවැත් නුවර බලා පිටත් වුනා.

නමුත් ඡබ්බග්ගිය නමැති හිතුවක්කාර භික්ෂූන් සය දෙනා වේලාසනින් ජේතවනයට ගියා. ‘කොහේද සංඝයාට සෙනසුන් පණවලා තියෙන්නේ?’ කියලා ඒ පැත්තට ගියා. ගිහින් මහතෙරුන් වහන්සේලා වඩින්ට කලින්, අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වඩින්ට කලින් සියලු සෙනසුන් අත්පත් කරගත්තා. ‘හා… මේක අපේ උපාධ්‍යායන් වහන්සේට. මේක අපේ ආචාර්යයන් වහන්සේට කියමින් තමන් ගේ භික්ෂූන්ට දෙන්ට උත්සාහවත් වුනා. පස්සේ වැඩම කළ මහතෙරුන් වහන්සේලාට සෙනසුන් ලැබුනේ නෑ. අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේත් අන්තිමට වැඩියේ. උන්වහන්සේට වැඩ ඉන්ට සේනාසනයක් ලැබුනේ නෑ. ඉතින් අපගේ සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගේ සේනාසනයට නුදුරින් එක්තරා රුක් සෙවනක වාඩිවීමෙන් සක්මන් කිරීමෙන් රැය පහන් කළා.

භාග්‍යවතුන් වහන්සේ පාන්දරින්ම කුටියෙන් නික්ම උගුර පෑදුවා. සාරිපුත්තයන් වහන්සේත් උගුරු පෑදුවා.

“කව්ද ඔය?” “මම ස්වාමීනී, සාරිපුත්ත”

“ආ… සාරිපුත්ත…. මොකද මේ වෙලාවේ. මෙහි මොකක්ද කරන්නේ?”

“ස්වාමීනී, මං එන්ට ටිකක් පමා වුනා. ඒ නිසා සේනාසනයක් ලබාගන්ට බැරිවුනා. ඉතින් මං මේ රුක් සෙවනට ආවා. මෙතනත් හොඳයි. මං වාඩිවෙමින්, සක්මන් කරමින් කල්ගෙව්වා. ස්වාමීනී, මට අපහසුවක් නෑ”

භාග්‍යවතුන් වහන්සේට මහත් සංවේගයක් හටගත්තා. ‘අහෝ… සත්වයන්ගේ පිරිහී යන ස්වභාවය..! මා ජීවත්ව සිටිය දී ම එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැතිව, යටහත් පැවතුම් නැතිව වාසය කරන හැටි’

භාග්‍යවතුන් වහන්සේ එදා උදෑසනින් ම සියලු භික්ෂු සංඝයා රැස්කොට වදාළා. “හැබෑද මහණෙනි, මේ ඡබ්බග්ගිය භික්ෂූන් තම තමන්ගේ භික්ෂූන්ට වේලාසනින් ම සෙනසුන් වෙන් කරගත්තාද? මහා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට සෙනසුන් ලබාගන්ට බැරිවුනාද?” “එහෙමයි ස්වාමීනී”

එවිට භාග්‍යවතුන් වහන්සේ ඡබ්බග්ගිය භික්ෂූන් ගේ ක්‍රියාවට අප්‍රසාදය පළකොට වදාළා. නැවත මෙසේ අසා වදාළා.

“මහණෙනි, කොයි භික්ෂූන් ද මුල්ම ආසන, මුල්ම පැන්, මුල්ම දානේ ලබන්ට සුදුසු?”

එතකොට ඇතැම් භික්ෂූන් වහන්සේලා මෙහෙම කිව්වා. ‘ස්වාමීනී, ක්ෂත්‍රීය වංශික භික්ෂූන්ට යි සුදුසු…. ස්වාමීනී, බ්‍රාහ්මණ වංශික භික්ෂූන්ට යි සුදුසු…. ස්වාමීනී, විනයධර භික්ෂූන්ට යි සුදුසු… ස්වාමීනී, ධර්මකථික භික්ෂූන්ටයි සුදුසු…. ස්වාමීනී, ධ්‍යාන ඉපිදවූ භික්ෂූන්ට යි සුදුසු…. ස්වාමීනී, මාර්ගඵලලාභී භික්ෂූන්ටයි සුදුසු…. ස්වාමීනී, අභිඤ්ඤාලාභී රහතන් වහන්සේලාට යි සුදුසු…” ආදී වශයෙන් කියන්ට පටන් ගත්තා.

“නෑ… මහණෙනි… මාගේ ශාසනයේ මූලාසනය ලබන්ට, මුලින් ම පැන් ලබන්ට, මුලින් ම දානෙ ලබන්ට ඒවා සුදුසුකම් නොවෙයි. මාගේ ශාසනයේ මුලින් ම පැවිදි වූයේ උපසම්පදා වූයේ යමෙක් ද, ඒ උපසම්පදාවෙන් ලබන වැඩිමහලු පිළිවෙළ පමණයි මූලාසනයට, මුල්ම දානෙට සුදුසු.

දැන් බලන්ට මහණෙනි, මාගේ අග්‍රශ්‍රාවක, අනුධර්මචක්‍රප්‍රවර්තක සාරිපුත්තයන් මා ළඟට සෙනසුනක් ලබන්ට ඒකාන්තයෙන් ම සුදුසුයි. නමුත් සාරිපුත්තයෝ මේ රාත්‍රියේ සෙනසුනක් නොලබා රුක් සෙවනක ගත කළා. මහණෙනි, දැන් ම මෙහෙම වුනොත් කල් යත් යත් මොනවා වේවිද!

මහණෙනි, ඉස්සර කාලේ තිරිසන්ගත සත්වයන් පවා ‘අපි එකිනෙකා අගෞරවයෙන්, යටහත් පැවතුම් නැතිව ඉන්න එක සුදුසු නෑ. අපි අතර ඉන්න වැඩිමහලු කෙනා තෝරාගෙන ඔහුට ගරුසරු දක්වා වාසය කරන්ට ඕනෑ’ කියලා කටයුතු කළ නිසා ඔවුන් තිරිසන් ආත්මයෙන් චුත වුනාට පස්සේ දෙවියන් අතර උපන්නා” කියලා මේ ජාතක දේශනාව වදාළා.

“මහණෙනි, ඉස්සර කාලේ හිමාල වනාන්තරේ අතුපතර විහිදී ගිය මහා නුගයක් තිබුනා. මේ නුගරුක් සෙවනේ තිත්වටුවෙකුයි, වඳුරෙකුයි, ඇතෙකුයි ඉතාම හිතමිත්‍රව වාසය කළා. නමුත් එකිනෙකා කෙරෙහි විශේෂ ගෞරවයක් තිබුනේ නෑ. විහිලු තහලුවෙන් වාසය කළා. දවසක් ඔවුන් මෙහෙම කතාවුනා. “අපි මෙහෙම එකිනෙකාට ගෞරවයක් නැතිව වාසය කරන එක හරි නෑ. අපි අතර ඉන්න වැඩිමහලු කෙනා කව්ද කියලා සොයාගනිමු. ඔහුට ගරු සත්කාර කරගෙන වාසය කරමු. ඉතින් අපි කොහොමද අපි අතර ඉන්න වැඩිමහලු කෙනා සොයාගන්නේ?”

දවසක් ඔවුන් මහ නුගේ යට වාඩිවෙලා හිටියා. එතකොට තිත්වටුවාත්, වඳුරාත් ඇතාගෙන් මෙහෙම ඇහැව්වා. “සගය, හස්තිය, මේ මහා නුග රුක ගැන ඔබ දන්නේ කොයි කාලේ පටන් ද?”

“මිත්‍රවරුනි…. මට මතකයි. මං පුංචිම පැටියා කාලේ මං මේ වනයේ ගස් අතරින් යනවා. එතකොට මේ නුගේ මගේ කුසේ ගෑවෙනවා. පොඩි පැලයක්”

ඊටපස්සේ තිත්වටුවායි ඇතායි වඳුරාගෙන් ඇහැව්වා “සගය, වානරය, ඔබට මොකක්ද මේ මහා නුගරුක ගැන තියෙන මතකය?”

“මිත්‍රවරුනි…. මටත් මතකයි. මං කුඩා පැටියා කාලේ බිම වාඩිවෙලා බෙල්ල උස්සන්නේ නැතිව මේ නුගරුකේ මුදුන් දල්ල කඩාන කෑවා. ඔය විදිහට මට කුඩා අවදියේ ඉඳලා මතකයි”

ඊටපස්සේ ඇතායි වඳුරයි තිත්වටුවාගෙන් නුගරුක ගැන දන්නා තොරතුරු ඇහුවා.

“මිත්‍රවරුනි, ඉස්සර ආන්න අතන දිරාපු නුගයක් තිබුනා. දැන් ඒක එතන නෑ. මැරිලා ගිහින්. අන්න ඒ නුගේ අතරින් පතර සෑදුන අතුවල ගෙඩි හටගන්නවා. මං ගිහින් ඒ නුගගෙඩි කනවා. මං එහෙම නුගගෙඩි කාලා දවසක් මෙතැන මං වර්චස් කළා. ඒ වර්චස් ගොඬේ තිබුන නුග ඇටයකිනුයි මේ නුගය පැලවුනේ. මගේ මතකය ඕන්න ඔහොමයි. එනිසා ඔබෙන් වැඩිමහලු ම කෙනා මම කියලයි හිතෙන්නේ”

එතකොට ඇතායි වඳුරයි තිත්වටුවාට මෙහෙම කිව්වා. “එසේය යහළුව, ඔබම යි අප අතර ඉන්න වැඩිමහලු කෙනා. අපි අද පටන් ඔබට සත්කාර, ගෞරව, වන්දන, මානන, පූජා පවත්වනවා. ඔබේ අවවාද අනුව අද පටන් අපි කටයුතු කරනවා. අපට අද පටන් ඔබ අවවාද කළ මැන. අනුසාසනා කළ මැන”

එතකොට බෝසත් තිත්වටුවා ඔවුන්ට අවවාද කළා. තමාත් සිල් ගත්තා. ඔවුන්වත් සීලයෙහි පිහිටෙව්වා. මෙසේ එකිනෙකාට ගෞරවයෙන් වාසය කොට මරණින් මතු දෙවියන් අතර උපන්නා.

මෙසේ මහණෙනි, තිරිසන් සතුන් පවා වැඩිහිටියන්ට ගරුසරු ඇතිව වාසය කොට තියෙනවා. මෙවැනි ස්වාක්ඛාත ධර්මවිනය තියෙන උතුම් බුදු සසුනක පැවිදි වී සිටින ඔබ එකිනෙකාට ගෞරව කිරීම ගැන මොනතරම් සැලකිලිමත් වෙන්ට ඕනෑ ද. අදින් පසු කිසි නවක භික්ෂුවක් වැඩිමහලු භික්ෂූන්ව සෙනසුනෙන් බැහැර නොකළ යුතුයි. යමෙක් එසේ කරනවා නම් එය වරදක් බවට ශික්ෂාපදයක් පණවා වදාළා. ඊටපස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළා.

“යම් කෙනෙක් වැඩිහිටියනට ගරු කරත් නම්

දක්ෂයෝ ය ඔවුහු දහමේ

මෙලොව ද පැසසුම් ලබන්ට සුදුසු ය

පරලොව සුගතියෙ උපත ලබත්ම ය”

මෙසේ භාග්‍යවතුන් වහන්සේ වැඩිහිටියන්ට සැළකීමේ බොහෝ අනුසස් වදාළා. “මහණෙනි, ඒ කාලේ ඇතා වෙලා හිටියේ අපේ මොග්ගල්ලානයන්. වඳුරා වෙලා හිටියේ අපේ සාරිපුත්තයන්. නුවණැති තිත්වටුවා වෙලා සිටියේ මම යි” කියා මේ ජාතකය වදාළා.

*සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ*

*උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...*

දෙව්ලොවට යන කාන්තාව



දෙව්ලොවට යන කාන්තාව

භාග්‍යවතුන් වහන්සේ අප වැනි කාන්තාවන්ට අනුකම්පා කළා. සසරේ කරන ලද කර්මය දායාදය කරගෙන කාන්තාවක් වී ඉපදුණත් ඇයට පිහිටට, පිළිසරණට ධර්මය තිබෙනවා. මේ ජීවිතයේ කාන්තාවකට ආවේණික වූ දුක් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ දුක් විඳිමින් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින ඇය ධර්මය ජීවිතයට ළංකර ගත්තොත් ඇයගේ ජීවිතය සාර්ථකයි. ගුණධර්ම ඇතිකර ගන්නා කාන්තාවට ඒකාතයෙන් ම සුගති ලෝකය හිමියි. ඒ පිළිබඳ ව වැඩිදුරටත් දැනගැනීමට මහමෙව්නාව අනගාරිකා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ අප මෙසේ සාකච්ඡා කළා.

මේ බුද්ධ ශාසනය සුන්දරයි. මේ බුද්ධ ශාසනයෙන් පිහිට පිළිසරණ ලැබූ පිරිසක් ඉන්නවා. ඒ තමා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා පිරිස. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ සිටි භික්ෂූන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන බොහෝ දෙනෙක් පිරිනිවන් පෑවා. ඒ වගේ ම භික්ෂුණීන් වහන්සේලාත් ධර්මය අවබෝධ කරගෙන පිරිනිවන් පෑවා. බොහෝ භික්ෂූන් වහන්සේලා සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, අනාගාමී ව ධර්මය අවබෝධ කර ගත්තා. ඒ වගේම බොහෝ භික්ෂුණීන් වහන්සේලාත් සෝතාපන්න වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, ධර්මය අවබෝධ කර ගත්තා. මේ බුද්ධ ශාසනයේ උපාසක පිරිසත් සෝතාන්න, සකදාගාමී, අනාගාමී ශ්‍රාවක පිරිසක් ව සිටියා. භාග්‍යවතුන් වහන්සේගේ සිව්වනක් පිරිස එතැනින් ඉවර නැහැ. සිව්වනක් පිරිසට ශ්‍රාවිකාවොත් අයිතියි. ඒ ශ්‍රාවිකාවන්ට මොකද වුණේ?

භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ගිහි ජීවිතය ගත කළ බොහෝ උපාසිකාවෝත් සෝතාපන්න වුණා. සකදාගාමී වුණා. අනාගාමී වුණා. ඔවුන් දැන් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉපදී සිටිනවා. කිසිදු දෙයක් නොතේරෙන හැඳි මිටේ නුවණ පමණක් ඇති මේ කාන්තාවට මෙවැනි ගම්භීර ධර්මයක් අවබෝධ වේවි ද කියලා කෙනෙක් සිතන්න පුළුවන්. පිරිමියෙක් වෙලා ඉපදෙන්නේ ඔහුගේ පිනක විපාකයක් ලෙසයි. කාන්තාවක් වෙලා ඉපදෙන්නේ පිනේ අඩුකමක් නිසා කියා කියනවා. නමුත් එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ සෝමා රහත් තෙරණිය වනාන්තරයේ ගසක් මුල භාවනාවෙන් වැඩ සිටියා. එතුමිය ව පවිටු මාරයා දකිනවා. ඔහු කියනවා “ඒයි! මෝඩ ගැහැනිය, මේ කැලෑවේ තනියම ගසක් යටට වෙලා මොකද කරන්නේ? හැඳි මිටේ නුවණ තිබෙන නුඹ වන් ගැහැණුන්ට පුළුවන් ද සසරෙන් නිදහස් වෙන්න?” ඒ වෙලාවේ දී සෝමා මහරහත් තෙරණිය ලස්සන පිළිතුරක් දෙනවා. එවිට මාරයා එතැනින් පළා යනවා.

බහුශ්‍රැත වූ ධර්මානුධර්ම පටිපන්න වූ උපාසිකාවන් නිසාත් මේ බුද්ධ ශාසනය බැබළුණා. ඒ නිසා යම් කාන්තාවක් බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ශ්‍රාවිකාවක් බවට පත් වුවොත් ඒ හැම දෙනා ම මරණින් මතු නිදා පිබිදියාක් මෙන් සුගති ලෝකයක උප්පත්තිය ලබනවා. ඇයට මාර්ගය වැසී නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඕනෑ තරම් සුගති ලෝකයේ උපත ලැබූ ශ්‍රාවිකාවන් මුණගැසෙනවා. ශ්‍රාවිකාවකට සුගති ලෝකයේ දොරටු ඇරෙන්නේ කොහොම ද? ඒ සම්බන්ධ ව ඉතා සුන්දර දේශනාවක් තිබෙනවා අනුරුද්ධ මනාපකායික සූත්‍රය නමින්. ඒ දේශනාවේ සඳහන් වෙනවා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටියා මහා සූර වීර දිවැස් තිබෙන ශ්‍රාවකයන් වහන්සේනමක්. ඒ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේට ඕනෑම දෙයක් දිවැසින් දකින්නට පුළුවන්. දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවා කාලයේ විවේකයෙන් වැඩසිටිද්දී දිව්‍යාංගනාවන් පිරිසක් ඇවිත් උන්වහන්සේට වන්දනා කළා. ඉතා අලංකාර ව බැබළි බැබළි සිටි මේ දිව්‍යාංගනාවෝ මනුස්ස ලෝකයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකාවන්. තමන් කැමති ඕනෑම වර්ණයක්, ස්වරයක්, සැපයක් මවාගැනීමේ හැකියාව ඔවුන් සතුවුනා. ඉතින් මේ දිව්‍යාංගනාවෝ අනුරුද්ධ මහරහතන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. මනුස්ස ලෝකයේ දී නොයෙක් ආකාරයෙන් කැමැති කැමැති පින් කරලයි ඔවුන් මනාපකායික දෙවියන් අතර උපන්නේ. මේ දිව්‍ය පිරිස අනුරුද්ධ මහරහතන් වහන්සේට ඔවුන්ගේ ආනුභාවය ගැන පවසද්දි උන්වහන්සේ සිතුවා ‘මෑලා පිරිස කහපාට වේවා!’ කියලා. සිතූ පමණින් පිරිස ම කහපාට වුණා. ඉන් පසුව සිතුවා ‘මෑලා සුදුපාට වේවා!’ කියා. එවිට සුදුපාට වුණා.

සවස් කාලයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි විහාරයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වන්දනා කර මෙසේ අසා සිටියා.

“ස්වාමීනී, යම් කාන්තාවක් කුමන ආකාරයේ ධර්මයන්ගෙන් යුක්ත වුනොත් ද කය බිඳී මරණින් මත්තේ සුගති ලෝකයේ මනාපකායික දෙවියන් අතර ඉපදෙන්නේ?” (මනාපකායික දිව්‍ය ලෝකය කියන්නේ නිම්මාණරතියට යි.) ස්ත්‍රියක් නිරන්තරයෙන් ගුණධර්ම පුරුදු කළොත් ස්ත්‍රීත්වය ඉක්මවා චාතුම්මහාරාජිකය, තව්තිසාව, යාමය, තුසිතය යන දිව්‍ය ලෝක පසුකර නිම්මානරතියේ ඉපදෙන්න පුළුවන්.

ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා සුගතියට යන මාර්ගය. සමහර විට ඔබට සිතෙයි දිව්‍ය ලෝකයේ යන්න ලොකු ලොකු පින්කම් කරන්න ඕනේ කියලා. නමුත් මේ දේශනාවේ සඳහන් වන ගුණධර්ම කාන්තාවක් පුරුදු කරනවා නම්, ඇයට ඒකාන්තයෙන් ම ඉහළ දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්කම තිබෙනවා.

භාග්‍යවතුන් වහන්සේ වදාළා යම්කිසි කාන්තාවක් මව්පියන් විසින් නිසි වයසේ දී ස්වාමියෙකුට පවරා දුන්නාට පස්සේ ඒ ස්වාමියාට කීකරුව වාසය කරන්න ඕනේ. ස්වාමියාට පළමුව අවදි වෙන්න ඕනේ.

නිවසේ තිබෙන සියලු කටයුතු සොයා බලා සියලු දෙනාම නින්දට ගිය පසු ඇය නිදන්න ඕනේ. ඇයට ස්වාමියා කෙරෙහි ප්‍රියමනාප වචන මෙන් ම ප්‍රියමනාප හැසිරීම් තිබෙන්න ඕනේ. මේ ගුණධර්මයෙන් යුතු තැනැත්තිය නිම්මාණරතී දිව්‍ය ලෝකයේ ඉපදෙනවා.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ වදාළා තමන්ගේ ස්වාමියාගේ ගුරුවරු, මව්පියන්, වැඩිහිටියන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා ද ඒ අයටත් සත්කාර කරන්න ඕනේ. අද අපේ සමාජයේ බොහෝ කාන්තාවන් තමන්ගේ මව්පියන්ට හොඳට සලකනවා. සැමියාගේ මව්පියන්ට සලකනවාට අකැමතියි. නමුත් දිව්‍ය ලෝකයේ ඉපදෙන ආර්ය ශ්‍රාවිකාව එහෙම නැහැ. ඇය ස්වාමියාගේ මව්පියන්ට, නෑයන්ට, වැඩිහිටියන්ට සත්කාර කරනවා. ගෞරව, බුහුමන් කරනවා. මේ සුගතියේ ඉපදෙන්න තිබෙන දෙවැනි කාරණාවයි.

ඒ වගේ ම තමන්ගේ ස්වාමියාගේ නිවසේ එදිනෙදා කළයුතු සෑම කටයුත්තක් පිළිබඳව ම දක්ෂ වෙනවා. කම්මැලි නැතුව, හොඳට හොයලා බලලා, නුවණින් කල්පනා කරලා කටයුතු කරනවා. මෙයත් මනාපකායික දෙවියන් අතර ඉපදෙන්න එක් කාරණාවක්.

අනෙක් කරුණ තමයි ස්වාමියා යටතේ යම් සේවකයන් සිටිනවා ද මෙහෙකරුවන් සිටිනවා ද වැඩවලට උදව් උපකාර කරන තවත් පිරිස් සිටිනවා ද ඔවුන්ගේ යුතුකම් ඉටුකර දෙනවා. අවශ්‍ය අවස්ථාවක නිවාඩු දෙනවා. ඒ පිරිස රෝගී වූ විට අවශ්‍ය උදව් කරලා දෙනවා. කෑමට තිබෙන දේ වුවත් බෙදාහදාගෙන කනවා. ඒකත් නිම්මාණරතියේ ඉපදෙන්න කාරණාවක්.

ඊ ළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළා ස්වාමියා යම් ධනයක් රැස් කරනවා ද මුදලක් උපයනවා ද එය අනවශ්‍ය ලෙස විනාශ නොකර ඒ දේ ආරක්ෂා කරනවා. රකිනවා. ඒ වගේ ම ඇය සෙර තැනැත්තියක්, දූර්ත තැනැත්තියක්, ලොල් තැනැත්තියක් නො වේ කියනවා. ස්වාමියා උපයන දේ නොයෙක් දේ කියමින් විනාශ නොකර ආරක්ෂා කරනවා. එයත් සුගතියේ යන්න කාරණාවක්.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ සරණ ගිය, ධර්මය සරණ ගිය, සංඝයා සරණ ගිය ආර්ය ශ්‍රාවිකාවක් වෙනවා. ඇය නිරන්තරයෙන් සිල්පද පහ ආරක්ෂා කරන තැනැත්තියක් වෙනවා.

ඊළඟට ඒ ආර්ය ශ්‍රාවිකාව ත්‍යාගවන්තියක් වෙන්න ඕනේ. ඇය මසුරු තැනැත්තියක් නො වේ. ඇය නිරන්තරයෙන් දන් දෙනවා. ‘අනේ මට තිබෙන දෙයක් කවුරු හරි ඉල්ලාගෙන එනවා නම් මම ඒ දේ සතුටු සිතින් දෙනවා’ කියා නිතර ම ඇය සිතනවා. ඇය නිතරම දන් දෙන්න, දන් බෙදන්න සූදානමින් ඉන්නවා.

ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් අනුරුද්ධ, මේ අට කරුණෙන් සමන්විත යම් ස්ත්‍රියක් ඇද්ද ඇය කය බිඳී මරණින් මතු මනාපකායික දෙවිවරු සිටින නිම්මාණරතියේ උපදිනවා.” කියලා.

ඉහත දේශනාව දෙස බැලූ විට ආර්ය ශ්‍රාවිකාවකට කරන්න තිබෙන්නේ පුංචි දෙයක්. පොඩි ගුණධර්මයක් පුරුදු කරන්න තිබෙන්නේ. නමුත් ඇය ඒ පොඩි දේ අතහැරලා ලොකු ලොකු දේ කරන්න උත්සාහ කරනවා. එදා සිටි ආර්ය ශ්‍රාවිකාව කළෙත් මේ දේ ම යි. අද සිටින ආර්ය ශ්‍රාවිකාවට කරන්න තිබෙන්නෙත් මේ දෙය ම යි.

මේ දේවල් ඔබේ ජීවිතයට පුරුදු කර ගන්න පුළුවන් නම් නිම්මාණරතී දිව්‍ය ලෝකයට යන්න පාර හැදෙනවා. අපි නිතරම ‘අනේ අපට අසවල් පින කරන්න වෙලාව නැහැ. අසවල් පින කරන්න ධනය නැහැ’ කියමින් පසුතැවීමෙන් කටයුතු කරනවා. එසේ නොකොට මේ බුද්ධ දේශනා අධ්‍යයනය කරමින් තමන්ට ඒ කරුණු ගළපා ගනිමින් පුරුදු කළොත් ඒ ශ්‍රාවිකාවට සුගති ලෝකයක යන්න පුළුවන්.

ඒ වගේ ම අපි තේරුම් ගන්න ඕනේ මේ දේශනාවල සඳහන් ආර්ය ශ්‍රාවිකාව කවුද කියලා. ඇය බුදුරජාණන් වහන්සේ සරණ ගිය තැනැත්තියක්. හැම කාන්තාවකට ම නිම්මාණරතියේ යන්න පුළුවන් කියලා දේශනාවේ නැහැ. ඒ හිමිකම ලැබෙන්නේ ආර්ය ශ්‍රාවිකාවකට පමණයි. ආර්ය ශ්‍රාවිකාවක් ළඟ මාණික්‍ය හතක් තිබෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා. යම් තැනැත්තියක් දෙස බලා බාහිර ලෝකයා සිතයි ‘අනේ මේ ස්ත්‍රිය සසරේ දෙයක් කර්මය කරගෙන ආ කෙනෙක්නේ’ කියලා. නමුත් ඇය ළඟ උතුම් වූ ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛ බල පහ පිහිටා තිබෙනවා. ඇයටයි ආර්ය ශ්‍රාවිකාව කියන්නේ. මේ ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් ආර්ය ශ්‍රාවිකාවෝ ද? නිකම් ම කාන්තාවෝ ද? ආර්ය ශ්‍රාවිකාවෝ අතළොස්සයි සිටින්නේ. අනෙක් සියලු ම දෙනා මරණින් මතු පහළට වැටෙන අයයි. ඉහත කරුණු සම්පූර්ණ කර ගත් ආර්ය ශ්‍රාවිකාව සේඛ බල ධර්ම වඩා ගත්තොත් ඇය කැමැති දිව්‍ය ලෝකයකට යන්න පුළුවන්.

ඔබ අසා තිබෙනවා නේ ද විශාඛා සිටු දියණිය ගැන. ඇය අවුරුදු හතේ දී ආර්ය ශ්‍රාවිකාවක් වුණේ. ඇය සාමාන්‍ය දැරියක් ගත කරන ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් ගත කළේ. ඇය විවාහ වෙලා ගියේ මිසදිටු පවුලකට යි. ඇය ආර්ය ශ්‍රාවිකාවක් වූ නිසා ඇය මුළු පවුල ම ධර්මයට ගත්තා. ඇයට ගෞරවයක් ලෙස ස්වාමියාගේ පියා ඇයට ‘මිගාර මාතා’ කියන නම පටබැන්දා. මාතෘ භාර්යාව ලෙසයි ඇය හැඳින්වූයේ. හරි පුදුම ආකාරයට ඇය ඒ පවුලට සලකලා හැම දෙනාම ධර්මය තුළ පිහිටෙව්වා. විශාඛා ආර්ය ශ්‍රාවිකාවක් ලෙස ජීවිතය ගත කළ නිසා ඇයට නිම්මාණරතියේ දොර ඇරුණා. අදටත් ඇය නිම්මානරතියේ සුව සේ සිටින්නේ. බුද්ධ කාලයේ සිට ධර්මය පුරුදු කළ ආර්ය ශ්‍රාවිකාවන් ගැන ඔබ ඉගෙන ගන්න. ඔවුන් ගැන සිතන විට අපේ ජීවිතවලටත් යම් හයියක්, ගැම්මක්, වීර්යයක් ඇතිවෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා ගිහි ජීවිතය ගත කරන ගිහි ශ්‍රාවිකාව විසින් මිනුම්දඬු දෙකක් තබා ගත යුතු බව. ඒ තමයි නන්දමාතා සහ ඛුජ්ජුත්තරා ශ්‍රාවිකාවන්.

නන්දමාතා කියන්නේ බොහෝ දුක් ගැහැට ඉවසාගෙන ධර්මය පුරුදු කළ අනාගාමී උපාසිකාවක්. ඛුජ්ජුත්තරා කියන්නේ දුක සේ බණ කියා දුන් දාසියක්. එහෙම නම් ඒ මිනුම්දඬු දෙක ගැන ගිහි ශ්‍රාවිකාවන් වන ඔබ හොඳින් දැනගත යුතු වෙනවා. නන්දමාතා උත්තමාවියගේ චරිතය කියවා ඒ ආකාරයට අපේ ජීවිතත් හැඩගස්වා ගන්න පුළුවන් වුණොත් අද වුවත් ඒ කාන්තාවට සුගති ලෝකයේ දොර ඇරෙනවා. හැබැයි ලෙහෙසි නැහැ. දුෂ්කරයි. නමුත් කර ගන්න පුළුවන් නම් ඇය දිනනවා. එතුමිය ඉතා උතුම් තැනැත්තියක්. වෛශ්‍රවණ දිව්‍යරාජයා පවා පැමිණ ඇයත් සමඟ කතාබහ කරනවා.

ඉතින් පිරිස අසනවා ඔබ ඉදිරියට වෛශ්‍රවණ දිව්‍යරාජයා පැමිණ කතා කරනවා ද කියලා. එතුමිය කියනවා “ඒ කරුණ මොකක්ද? ඊට එහා ගිය ආශ්චර්ය අද්භූත කරුණු හතක් මා ළඟ තිබෙනවා” කියලා. මේ කරුණු උපදවා ගැනීම ඉතා අමාරුයි. නමුත් එය පුරුදු කළොත් සුගති ලෝක මාර්ගයේ ගමන් කරන්න පුළුවන්. එතුමිය කියනවා “මගේ පුතා නිකරුණේ මගේ ඇස් ඉදිරිපිට ම මරා දැම්මා. නමුත් අංශුමාත්‍රයක සිතේ වෙනසක් ඇති වුණේ නැහැ” කියලා. ඒ වගේ ම ඇය තමන්ගේ ස්වාමියා මියගොස් මළ යක්ෂයෙක් වෙලා තමන් ඉදිරියට එනවා කියනවා.

නමුත් සිතේ බය තැතිගැනීමක් නැහැ කියනවා. ඒ වගේ ම තමන්ගේ ස්වාමියා ඉක්මවා ගොස් වෙන ස්වාමියෙක් ගැන සිත සිතා පත පතා සිටියේ නැහැ කියනවා. ඒ වගේ ම මම භාග්‍යවතුන් වහන්සේගේ උපාසිකාවක් කියා ප්‍රතිඥා දුන් දවසේ සිට උපාසිකා භාවය අහෝසිවන ආකාරයට සිල්පද කඩාගෙන නැහැ කියනවා. ඒ වගේ ම මට සුව සේ හතරවැනි ධ්‍යානයට සම වදින්න පුළුවන් කියනවා. එලෙස ඇය ආර්ය ශ්‍රාවිකාවක් ලෙස ධර්ම මාර්ගය පුරුදු කරමින් ජීවත් වූ නිසා බ්‍රහ්ම ලෝකයේ ඉපදෙන්නට වාසනාව උදා වුණා. එතුමියගේ ගුණධර්ම සිත සිතා ‘අනේ එහෙම නම් මටත් මේ ගුණයන් උපදවා ගන්න පුළුවන්නේ’ කියලා ඒ හයියෙන් තමයි අද ඉන්න කාන්තාවට, ආර්ය ශ්‍රාවිකාවට සුගති ලෝකයට යන්න මාර්ගය විවෘත කර ගන්න තිබෙන්නේ.

ඒ වගේ ම ඛුජ්ජුත්තරා කියන්නේ දාසියක්. ධර්ම මාර්ගය පුරුදු කරලා අනාගාමී වුණා. දුක සේ ජීවිතය ගත කළා. දුක සේ බණ කිව්වා. පුළුවන් තරම් ධර්මය කියමින් පිරිස පැහැදෙව්වා. අනෙක් පිරිස නිහතමානී වුණා දාසියක් වුණාට ධර්මය අහන්න. ඇය ධර්මය කිව්වා. මරණින් මතු ඇය සුගති ලෝකයේ ඉපදුණා.

සේඛ බල පහ තමන්ගේ ජීවිතය තුළ ඇති කරගෙන ඉදිරියට යන ආර්ය ශ්‍රාවිකාව නිතර ම ස්වාමි භක්තියෙන් යුක්ත වෙන්න ඕනේ, හොඳින් ඉවසන කෙනෙක් වෙන්න ඕනේ. එය මොනතරම් ඉවසීමක් ද කියන්නේ බොහෝ කාලයක් පුරුදු පුහුණු කළ ඉවසීමක් වෙන්න ඕනේ. බුද්ධ ශාසනයේ උපාසිකාවන් අතර සිටි සාමාවතියගේ ගුණධර්මත් අපට හයියක් ඇතිකර ගන්න උපකාරී වෙනවා. ඇය සිටි මුළු මාළිගාවට ම මාගන්දියා ගිනි තිබ්බා. දුවන්න ඕනේ, ජීවිතය බේරා ගන්න ඕනේ කියලා කවුරුත් කලබල කළේ නැහැ. ඇය සියලු දෙනාට ම කිව්වා ගින්නෙන් මේ කුණු කය පිච්චී ගියත් නැගණිවරුනි, සිත නම් වෙනස් කර ගන්න එපා කියලා. එසේ කරන්න පුළුවන් වුණේ ඔවුන් තරහව දුරු කරන්න පුරුදු කළ පිරිසක් නිසයි. දැන් ඒ සියලු දෙනා ම ඉන්නේ සුගති ලෝකයේ. අපි බලන්න ඕනේ ඒ අයට සුගති ලෝකයේ දොරටු විවර වුණේ කොහොමද කියලා. ඒ කරුණු දැනගත්තොත් තමයි අපට හයියක්, වීර්යයක් ඇතිවෙන්නේ.

අපිත් අපගේ ජීවිතවලට ප්‍රශ්න එනකොට මේ ආකාරයට සිතන්න ඕනේ. එතකොට අපටත් සුගති ලෝකයක් විවෘත වේවි. නැත්නම් ප්‍රශ්න ගැටලු ආ විට ඒවා මත්තේ ම හැපි හැපී හඬා වැටෙනවා මිසක් ඉන් එහාට කරන්න දෙයක් දන්නේ නැහැ. කරන්න තේරෙන්නේ නැහැ. අපේ ජීවිතවලට එක දිගට ම ප්‍රශ්න එනකොට අපි පුළුවන් තරම් ඉවසන්න ඕනේ. ඔබත් සුගති ලෝකයකට යන්න කැමැති නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය තුළ ශ්‍රාවිකාවෝ ධර්මය පුරුදු කළ ආකාරය ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා අපි හැමදෙනා ම ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා කියන සේඛ බල ධර්ම දියුණු කරගෙන ආර්ය ශ්‍රාවිකාවක් තුළ තිබිය යුතු කරුණු ඇති කරගෙන, ඉවසීම, කරුණාව, මුදිතාව ඇති කරගෙන, තමන්ගේ ස්වාමියාට ගරු බුහුමන් කරමින්, මව්පියන්ට උපස්ථාන කරමින් මිනිසත් ගුණධර්ම ඇතිකර ගත්තොත් ඇයට ඒකාන්තයෙන් ම සුගති ලෝකයේ දොරටු විවර වෙනවා. මේ ප්‍රතිපදාවේ නොයෙදී අනේ අපට තව්තිසාවේ, නිම්මාණරතියේ යන්න ලැබේවා යැයි පතමින් කාලය ගෙවා දමන කාන්තාවොත් නැතුවා ම නො වේ. එයට භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා. එක් කිකිළියක් බිත්තර දමා ගම වටේ ම කිය කිය යනවා මගේ බිත්තර පුපුරා තව ටික කලකින් පැටව් එළියට ඒවි කියලා. නමුත් පැටව් එළියට එන්නේ නැහැ. තව කිකිළියක් ඉන්නවා. ඇය බිත්තර දමා කාටවත් නොකියා හොඳින් ඒ බිත්තර රකිනවා. දවසක ඒ බිත්තර මෝරා පුපුරා පැටව් එළියට එනවා.

එනිසා අද වුවත් කාන්තාවකට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාව පුරුදු කරගෙන සේඛ බල, ගුණධර්ම ඇති කරගෙන ආර්ය ශ්‍රාවිකාවන්ගේ ජීවිත ආදර්ශයට ගෙන කටයුතු කරන්න පුළුවන් නම් ඇයට සුගති ලෝකයට යන්න පුළුවන්. එයට අවශ්‍ය වන්නේ වීර්යය, උත්සාහය, කැපකිරීම යි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කාන්තාවන් නිසා අපට මේ ධර්මය අවබෝධ කර ගන්න බැහැ කියා දෙයක් නැහැ. ආර්ය ශ්‍රාවිකාවකට පමණයි දෙව්ලොව දොරටු විවර වෙන්නේ.

උපුටා ගැනීම: සාකච්ඡා සටහන – නයනා නිල්මිණි

ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම



ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

ධාතු වන්දනාවන්ට නිග්‍රහ කිරීමේ බරපතළ බව යමෙකු දන්නේ නම් කිසිදිනෙක උතුම් ශ්‍රී සර්වඥ ධාතූන් නිධන් කළ සෑයකට කරන ලද පුණ්‍යකර්මයක් අනුමෝදන් වනු විනා නින්දා අපහාස උසුළු විසුළු කවට වදන් නො කියන්නේ ම ය. බොහෝ පිරිසකට දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් උරුම කරදෙන එවන් පිනකට ගරහන්නෝ අඳ බාලයෝ ම වෙති. පිනෙන් බැහැර වූවෝ වෙති.

“ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් එලෙස භාග්‍යවතුන් වහන්සේගේ ධාතු වන්දනාවකට අපහාස කළ ප්‍රේතයෙකු විඳින මාරාන්තික බලගතු දුක් වේදනාවන් ගැන කියවෙන මෙම ධාතු විවණ්ණික ප්‍රේත වස්තුව අප සැමට වචනයෙන් සිදුවන පාපකර්මයෙන් ගැලවීම කොතරම් යහපත් ද යන්නට මහඟු උදාහරණයක් සපයයි.

කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ පසු ඒ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රමාණ කොට බෙදා දෙන ලදී. අජාසත් රජතුමා තමාට ලැබුණු එම ධාතූන් වහන්සේලා මහත් ආදරයෙන් අවුරුදු සතකුත් මාස සතකුත් සත් දිනක් මුළුල්ලෙහි අනන්ත බුදුගුණ සිහි කරමින් මහත් වූ පුද පූජා පැවැත්වී ය.

එම ධාතු වන්දනාවෙහි දී පින් රැස්කර ගත් අප්‍රමාණ වූ ලක්ෂ ගණන් මිනිස්සු දිව්‍ය ලෝකයන්හි උපත ලැබීමට වාසනාවන්ත වූහ. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කාලයක් තිස්සේ පුරුදු කරන ලද අශ්‍රද්ධාව සහ මිථ්‍යා දෘෂ්ටිය සහිත බැවින් පැහැදිය යුතු තැන පැහැදීමකින් තොරව තමන්ගේ සිත දූෂිත කරගෙන ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමට තරම් අවාසනාවන්ත වූහ.

එකල රජගහනුවර බොහෝ ධන සම්පත් ඇති මිනිසෙක් විය. ඔහුගේ බිරිඳ, දියණිය සහ ඇගේ යෙහෙළිය ධාතු වන්දනාව සඳහා මල් සුවඳ දුම් ආදිය ගෙන ගමනට සූදානම් වූහ. එය දුටු එම මිනිසා “ඇටවලට පූජා කිරීමෙන් කවර ප්‍රයෝජනයක් ද?” කියමින් ඔවුන්ට නින්දා කොට ධාතූ පූජාවේ නුගුණ කීවේ ය. ඔහුගේ කීම ගණනකට නොගත් ඔවුන් තිදෙනා ධාතු පූජා ස්ථානයට ගොස් ධාතූන් වහන්සේලාට පුද පූජා පවත්වා ආපසු පැමිණියහ.

පසු කලෙක රෝගයක් වැළඳීම හේතුවෙන් මරණයට පත් වූ එම ස්ත්‍රීන් තිදෙන දෙව්ලොව උපත ලැබූහ. ධාතු වන්දනාවට නින්දා කළ පාපයෙන් එම ක්‍රෝධයෙන් යුතු පුරුෂයා මරණයට පත්ව ප්‍රේත ලෝකයෙහි උපත ලැබී ය.

එක් දිනක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මිනිසුන් කෙරෙහි උපන් කරුණාවෙන් මිනිසුන් හට ප්‍රේතයන් හා දෙවියන් දැකගත හැකි වන අයුරින් ඍද්ධි සංස්කාරයක් කළ සේක. එසේ ප්‍රේතයන් සහ දෙවිවරුන් මිනිසුන් හට දක්නට ලැබූ පසු උන්වහන්සේ එම ප්‍රේතයන්ගෙන් ප්‍රශ්න විමසන්නට වූහ.

“එම්බල ප්‍රේතය, කුණු ගඳින් යුතු නුඹ අහසෙහි හාත්පස දුර්ගන්ධය පතුරුවන්නේ ය. කුණු ගඳ හමා යන නුඹගේ මුඛය සිසාරා පණුවෝ කති. නුඹ පෙර භවයේ කුමන අකුසල කර්මයක් කර ගත්තේ ද? ඒ දුගඳ හමන නුඹගේ මුඛය කර්මය හේතුවෙන් උපන් සත්වයන් තියුණු මුවහත් ආයුධ ගෙන නැවත නැවත කපයි. කැපූ කැපූ ක්‍ෂණයෙන් නැවත ලුණු වතුර ඉසිමින් නැවත නැවත කපයි. නුඹ විසින් පෙර කරන ලද කුමන අකුසල කර්මයක විපාකය හේතුවෙන් ද මෙවැනි දරුණු දුකකට පැමිණියේ?” මහරහතන් වහන්සේ ප්‍රේතයාගෙන් විමසා සිටි සේක.

“නිදුකාණන් වහන්ස, මම ඉතා අලංකාර වූ ගිරිවජ්‍ර නම් රජගහනුවර බොහෝ ධන ධාන්‍ය සහිතව වාසය කළ මහා ධනවතෙක් වෙමි. දැන් දෙවි ව අහසේ සිටින ඇය මාගේ පෙර අත්බවයේ භාර්යාව යි. අනෙක් දිව්‍යාංගනාවන් දෙදෙන මාගේ දියණිය සහ ඇගේ යෙහෙළිය යි. ඔවුන් මල් සුවඳ විලවුන් ගෙන ධාතු වන්දනාවට නික්ම යන කල මම එම ධාතු වන්දනාවට නිග්‍රහ කර ඔවුන් වැළැක්වීමි. මා විසින් එම ධාතු පූජාවේ නුගුණ කීමේ පාප කර්මය කරන ලදී. මා ඇතුළු අසූහය දහසක් පමණ වූ පිරිසක් ධාතු වන්දනාවට දොස් කියා මැරී ගොස් බලවත් දුක් ඇති ප්‍රේත ලෝකයෙහි ඉපදී වෙන වෙනම තමා විසින් කළ පාපකර්මයන්ගේ මහත් දුක් වේදනා විඳින්නෙමු. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චෛත්‍යය උදෙසා පූජා පවත්වන කල්හි මා සේ ම යම් කෙනෙක් දොස් කියන්නේ ද ඒ පුද්ගලයා පිනෙන් බැහැර යැයි දැනගනු මැනවි. එමෙන් ම ඔහු මහත් පිරිහීමට පැමිණෙයි.

දිව්‍යමය වූ මල්මාලා පැලඳ සැරසුණා වූ දිව්‍ය සම්පතින් බබළන දෙව් පිරිවර ද සහිතව චෛත්‍ය වන්දනාව උදෙසා කළ මල් පූජාවේ විපාක විඳිමින් අහසින් පැමිණෙන මේ දිව්‍ය ස්ත්‍රීන් දෙස බලනු මැනවි. ස්වාමීනී, මහා කාශ්‍යපයන් වහන්ස, ඒ ඉතා සුළු පූජා කුසලයක ආශ්චර්ය අද්භූත වූ ලොමුදැහැ ගන්වන්නා වූ මහත් කුසල් විපාකයන් දැක ප්‍රඥාවන්තයෝ අති උත්තම පින්කෙතක් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේ වන්දනා කරති. එය එසේ ම යි, මහරහතන් වහන්ස, මම ද මෙයින් චුතව මිනිසත් බව ලබා නොපමා වෙමින් නැවත නැවත චෛත්‍ය පූජා කරන්නෙමි.” කලකිරුණු සිත් ඇති ප්‍රේතයා පැවසී ය.

මෙසේ ප්‍රේතයා පැවසූ පසු අග්‍ර ධුතාංගධාරී මහාකස්සප මහරහත් මුනිඳුන් එම කාරණය අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට දහම් දෙසූ සේක.

උපුටා ගැනීම: සදහම් සේවාව වට්සැප් ගෲප් එකෙනි.

සටහන – හර්ෂ නිලංක පෙරේරා

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය

සද්ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ කෙසේද?



සද්ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ කෙසේද?

භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් හදමඬලේ උපන්, සිරි සම්බුදු මුවමඬලින් දේශනා කොට වදාළ ඒ ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය අප ශ්‍රවණය කළ යුත්තේ ධර්ම ගෞරවයෙන් යුතුවයි. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළේ (අට්ඨිකත්වා) හොඳින් අවධානය යොමු කරගෙන, (මනසිකත්වා) හොඳට මනස යොමු කරලා, (සබ්බචේතසෝ සමන්නාහරිත්වා) මුළු හිත ම යොමු කරගෙන, (ඕහිතසෝතෝ ධම්මං සුණාති) සවන් යොමු කරගෙන, ධර්මය අසන්න කියායි. එමෙන් ම “සුස්සූසති” නම් සූත්‍ර දේශනාවේ දී ධර්මය අසද්දී ඇතිකර ගත යුතු කරුණු 6ක් පෙන්වා දී තිබෙනවා.

1. සුස්සූසති – තථාගතයන් වහන්සේ විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කර ගත් ඤාණයෙන් යුතුව දේශනා කළ මේ සද්ධර්මය වනාහි කුමක් ද? යයි අසා දැන ගැනීමේ බලවත් ආශාවක් තිබිය යුතු ය.

2. සෝතං ඕදහති – සද්ධර්මයට සවන් දෙන වේලෙහි බාහිර දේ නො සිතා සද්ධර්මයට මනාව සවන් යොමුකර සිටිය යුතු ය.

3. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති – ‘මම ද මේ සද්ධර්මය අවබෝධ කර ගනිමි’ යි තරයේ සිතට ගෙන සවන්දිය යුතු වේ.

4. අත්ථං ගණ්හාති – තමන් සවන් දෙන සද්ධර්මයේ අර්ථ මනා කොට වටහාගත යුතු ය.

5. අනත්ථං රිඤ්චති – සද්ධර්මයට සවන්දෙන අතරේ මතුවන කරුණු වැරදි ලෙස වටහා ගනිමින් අනවශ්‍ය ගැටලු උපදවා ගනී ද එබඳු කරුණු අත්හළ යුතු ය.

6. අනුලෝමිකාය ඛන්තියා සමන්නාගතෝ හෝති – සද්ධර්මය අවබෝධ කරගැනීම පිණිස යළි යළිත් තමා තුළින් ම විමසා බැලිය යුතු වේ.

මෙම කරුණුවලින් යුක්තව, ධර්මය ශ්‍රවණය අර්ථවත් කර ගැනීමට නම් ධර්ම ගෞරවයෙන් යුතුව එයට කැපවිය යුතු ය. වෙනත් කටයුත්තක නිරත වෙමින් අර්ථවත් ලෙස ධර්ම ශ්‍රවණයක් සිදුකර ගත නො හැකි බව ඒ අනුව ඉතා පැහැදිලි ය.

බඹසර නිසා බේරුණු කතාවක්…



බඹසර නිසා බේරුණු කතාවක්…

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කාලයක දී සිදුවූ දෙයකි මෙය. ඉතා ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයෙක් බුද්ධ ශාසනයෙහි පැවිදි විය. ඒ තෙරුන් වහන්සේ දිවි දෙවැනි කොට උතුම් සීලය ආරක්ෂා කළ සේක. විශේෂයෙන් බඹසර ගැන හොඳ අවධානයක් තිබුණේය. බඹසර කැඩෙන්නේ ඉන්ද්‍රිය අසංවරයෙන් බැවින් ඉඳුරන් හොඳින් සංවර කළ සේක. අහන, දකින, හිතන, දැනෙන අරමුණුවලින් රාගය ඇවිස්සෙන්න දුන්නේ ම නැත. වතුරෙන් උඩට ඉබ්බා හිස දමා මිනිසෙක් දුටු පමණින් ‘මාව නොදකිත්වා’ යැයි ජලයේ ඇතුළට කිමිදෙන සෙයින් මේවා දැක්කොත්, ඇහුවොත් මගේ රාග කෙලෙස් ඇවිස්සෙයි කියා සිතුණ පමණින් අසුභ ආදී අරමුණෙහි කිඳා බැසීමට උන්වහන්සේ පුරුදු වූහ. ඉන්ද්‍රිය සංවරය විසූක දර්ශනයෙන් බිඳෙන බැවින් කාලගෝට්ටි අස්සේ නොයා හුදෙකලාවට ආසා කළහ. නමුත්, නවක භික්ෂුවක් නිසාවෙන්, කොස්වාළිහිණියා කොහේ ගියත් සවස් වෙනකොට පිරිස අතරට එනවා වාගේ හුදෙකලාවට ආසා කළත්, තනිව බණ භාවනා කළත් ගුණවත් සංඝයාගෙන් ඈතට නම් වැඩියේ නැත. විටින් විට හිත අසංවර විය. රාගය සිතට ආවේ ය. ශ්‍රේෂ්ඨ ගවයා කරත්තේ බැන්දට පස්සේ දාන බර කොහොම හරි අදිනවා වාගේ කොහොමහරි සමාදන් වුණ සිල් පද රැක ගත්හ. බඹසරට ස්ත්‍රිය කටුවක් බැවින් ස්ත්‍රීන් දෙස නම් නොබැලුවේය. පිණ්ඩපාතය බෙදද්දීවත් ඇඟිලි, නිය පොතු ආදී කිසි නිමිත්තක් ගත්තේ නැත. තවත් ශ්‍රමණ ගුණධර්ම පුරුදු කළේය. මැණිකක් වාගේ පවිත්‍රව ඉන්න ආසා කළේය. මේ විදියට උපසම්පදාවෙන් වසර පහක් සංඝයා අතර වැඩ සිටියේය. තම ගුරු ස්වාමීන් වහන්සේගෙන් වනයට යන්ට අවසර ඉල්ලීය. ශිෂ්‍ය තෙරුන්ගේ යහපත් ඇවතුම් පැවතුම් හා වීර්ය පුරුදු කිරීමත්, පිරිසිදු සීල සංවරයත් ගැන ගුරු ස්වාමීන් වහන්සේ ගොඩක් පැහැදී සිටියහ. උන්වහන්සේ ඒ සඳහා අවසර ලබා දුන්හ. මහ වනයට පැමිණුන ගෝල ස්වාමීන් වහන්සේ වනයේ කුටියේ ඇඳ පවා අයින් කොට අරහත්වයට පත් වන ආසාවෙන් සක්මනෙනුත්, හිඳගනිමිනුත් භාවනා කළහ. පිණ්ඩපාතය ගැන සැලකිල්ලක් ලොකුවට දැක්වූයේ නැත. ආහාර මදිකමින් උන්වහන්සේ දුර්වල වූහ. දිනක් සක්මන් කරමින් සිටියදී ම උන්වහන්සේ අපවත් වූහ. සක්මනෙහි ම මිය ගිය ශරීරය ඇද වැටිණ. යම් කෙනෙකු සක්මන් කරමින් හෝ භාවනා කරමින් ඉඳගෙන යමකට හේත්තු වී හෝ සක්මනේ කෙළවර නිදා සිටිය දී හෝ ධර්මාසනයේ දහම් දෙසමින් හෝ මිය යයි නම් ‘ධර්මයේ හැසිරෙමින් මිය ගියා’ කියන ගණයට වැටේ. එසැණින් සුගති උපත සැලසේ. මේ තෙරුන් වහන්සේ ද අපවත් වී තව්තිසා භවනේ මහා විමානයක ගව් තුනක් උසැති සොඳුරු දිව්‍ය පුත්‍රයෙක් ව ඉපදුණහ. විමානය තුළ දහසක් දිව්‍ය අප්සරාවන් සතුටින් පිනා ගොස් ‘අපගේ දිව්‍ය පුත්‍රයා පහළ වූයේ යැ’යි වට වුණහ. දිව්‍ය අප්සරාවන්ගේ ලස්සන කියන්නට මනුස්ස ලෝකයේ උපමා නැත. සිතා ගත නොහැකි තම් ලස්සන ය. ඒ දිව්‍ය පුත්‍රයා තවම ශ්‍රමණ සංඥාවෙන් ම සිටියේය. ස්ත්‍රී හඬින් ඔවුන් විහාර චාරිකා පැමිණි ස්ත්‍රීන් යැයි සිතා බිම බලා ගත්තේය. දිව්‍ය අප්සරාවෝ නැටුම් ගීත දැක්වූහ. දිව්‍ය පුත්‍රයා දිව්‍ය සළුව සිවුර සේ පොරවා සක්මන් කළේය. අප්සරාවෝ ‘මේ නම් ශ්‍රමණ දිව්‍ය පුත්‍රයෙක් යැ’යි සිතා විශාල දර්පණයක් ඉදිරියේ තබා, “ඔබ දැන් ශ්‍රමණ කෙනෙකු නොවෙයි. දැන් දිව්‍ය පුත්‍රයෙක්. අපි දහසක් දිව්‍ය අප්සරාවන් ඔබ වෙනුවෙන් උපස්ථානයට යි සිටින්නේ. මේ දෙව්ලොව සැපය විඳින්ට කාලය යි.” කියා වට කර ගත්තෝ ය. දිව්‍ය පුත්‍රයාට සිදු වී ඇති දෙය වැටහිණි. ‘අහෝ මාගේ උතුම් පවිත්‍ර බඹසරට කුමක් වේවිදෝ. නිවන පතමින් සිටි මා හට කුමක් සිදු වූයේදෝ. මා හට දැන් පිළිසරණ කවුදෝ…’ යි සිත්හි සංවේගය හටගත්තේය. වහා එතැනින් අතුරුදහන් වී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පහළ විය. නොබිඳුණු සිල් ඇති මේ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වන්දනා කොට එකත්පස් ව සිට මෙසේ පැවසීය. “අනේ ස්වාමීනි, මේ අප්සරාවන් හරියට ඝෝෂා කරනවා. පිශාචයෝ ගොඩක් එකතු වුණා වගේ. මෝහයෙන් හැදිච්ච වනාන්තරයක් වගෙයි. මෙතැනින් නිදහස් වෙන්නේ කොහොමද?” භාග්‍යවතුන් වහන්සේ මොහුගේ ජීවිතය දුටු සේක. සසරට නොඇලෙන කැමැත්ත දුටු සේක. නොබිඳුණු සිල් ඇතිව දහම ම සොයන බව දුටු සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ආර්ය මාර්ගය නමැති ඍජු මාර්ගයක් තියෙනවා. බය නැති තැන නමැති දිශාවට යි ඒ මාර්ගය වැටිලා තියෙන්නේ. කිසි සද්දයක් නැති රථයක් තියෙනවා. ඒ රථය කැරකෙන්නේ දහම් රෝදවලින්. ඒ රථයේ වාඩිවෙන ආසනේ තමයි ලැජ්ජා – බය දෙක. ඒ රථය සරසවලා තියෙන්නේ සිහිය නමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටු කර ගත් ආධ්‍යාත්ම බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමයි ඒ රථයේ රියදුරා. යම් කිසි ස්ත්‍රියකට හරි පුරුෂයෙකුට හරි ඔය ජාතියේ රථයක් තියෙනවා නම් එයාට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්ට පුළුවනි.” මේ උතුම් බුද්ධ වචන ඒ දිව්‍ය පුත්‍රයා තේරුම් ගත්තේය. අවබෝධ කළේය. උතුම් සෝතාපන්න ඵලයට පත් විය. යාන්තං මේ මඩ වගුරෙන් ගැලවිනි. උත්තම බ්‍රහ්මචරියාවේ මනා ව පිහිටියේය. දැන් කෙසේ නම් සිල් පළුදු වන්න ද? අනික් කාරණාව, දහමේ හැසිර නිදි වරාගෙන බණ භාවනා කරමින් කළ උත්සාහය විපාක දුන්නේ, මුදුන්පත් වූයේ ධර්මය අසද්දී ය. අනික උත්සාහ කළේ මනුලොව ය. අවබෝධ කළේ දෙව්ලොව ය. මේ ධර්මාවබෝධය හරි අපූරු සංසිද්ධියකි. තවත් විශේෂ කරුණක් වෙයි. මේ දෙවියා භාග්‍යවතුන් වහන්සේ කරා ගෙනාවේ ඔහුගේ උතුම් බඹසරත්, නිවන් දකින්නට තියෙන බලවත් කැමැත්තත් ය. අද කාලේ දිව්‍ය අප්සරාවෝ නොව එක නාටු ස්ත්‍රියක් නිසා සමහරු බ්‍රහ්මචරියාව සුන්නද්දූලි කර ගනිති. දිව්‍ය අප්සරාවන් ගැන කවර කතා ද… පුංචි ජංගම දුරකථනය අද කාලේ කී දෙනෙකුගේ සිල් කඩනවා ද? ඇත්තටම ඒ කරුණෙන් ඒ උපකරණ මහා අසත්පුරුෂ, සතුරු උපකරණ ජාතියක් යැයි හැඟේ. දෙවියා තමන් නැවත ඉපදී ඇති නිසාත්, දෙව් අප්සරාවියෝ තමා උදෙසා වන බැවිනුත්, එහි සිල්පද කවුරුන්වත් පනවා නැති බැවිනුත් ඒ ස්ත්‍රීන් ළඟට ගියා නම් එහි වරදක් තිබේ ද? නැත. එහෙත් ඔහු බඹසරට ආසා කළ නිසා, කාමයට අප්‍රිය නිසා භාග්‍යවතුන් වහන්සේ සොයා ගියේය. නොබිඳුණු සීලයෙන් ධර්මය ඇසුවේය. සෝතාපන්න වී සතර අපායේ ගිනි නිවා ගත්තේය. එදා ස්ත්‍රීන් සමඟ එකතු වුණා නම්, ප්‍රමාද වූවා නම් ඔහුට ඒ අවස්ථාව මඟ හැරී යන්නට තිබිණි. මේ තමයි බඹසර ගැන කතාව… බඹසරට ආස කෙනාට දිව්‍ය අප්සරාවියෝ ප්‍රේතියන් සේ පෙණින. කාමාශක්ත ජනයාට ප්‍රේතියෝ දිව්‍යාංගනාවන් සේ පෙනෙති. මේ මායාවෝ සිතෙහි ම ජනිත වෙති. එනිසා ම මේ කාමය ‘සංකල්ප රාගය’ ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මේවා නුවණින් තේරුම් ගත යුතු ය. ඔබ රකිනා පිරිසිදු සීලය ඔබට කවදා හෝ සැනසිල්ල ලබාදෙනු ඇත. බලවත් රෝගයකින් මිදෙන්නට අප්පිරියාවෙන් නමුත් බොන කසායක් සේ දුෂ්කර ව නමුත් උතුම් සිල් පද රැකිය යුතු ය. සීලය, කෙලෙස් යුද්ධය කරනා භූමිය යි. – මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි 071 555 66 66 info@mahamegha.lk

දස සංඥාව (ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන්)



දස සංඥාව (ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන්)

1. අනිත්‍ය සංඥාව

ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙහෙම විමසනවා:

🎈 රූපය අනිත්‍යයි.

🎈 විඳීම් අනිත්‍යයි.

🎈 හඳුනාගැනීම් අනිත්‍යයි

🎈 සංස්කාරයන් අනිත්‍යයි.

🎈 විඤ්ඤාණය අනිත්‍යයි.

2. අනාත්ම සංඥාව

ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙහෙම විමසනවා:

🎈 ඇස අනාත්මයි. ඇසට පෙනෙන රූප අනාත්මයි.

🎈කන අනාත්මයි. කනට ඇසෙන ශබ්ද අනාත්මයි.

🎈නාසය අනාත්මයි. නාසයට දැනෙන ගඳ සුවඳ අනාත්මයි.

🎈දිව අනිත්‍යයි. දිවට දැනෙන රස අනාත්මයි.

🎈කය අනාත්මයි කයට දැනෙන පහස අනාත්මයි.

🎈මනස අනාත්මයි. මනසට සිතෙන අරමුණු අනාත්මයි.

3. අසුභ සංඥාව

යටි පතුලෙන් උඩ සිට හිස් කෙස්වලින් පහළට සමකින් වැසී තිබෙන නා නා ප්‍රකාර අසුචියෙන් පිරුණු මේ කය පිළිබඳ නුවණින් විමසා බලනවා. මේ කය කියන්නේ:

◾ කෙස්
◾ ලොම්
◾ නිය
◾ දත්
◾ සම
◾ මස්
◾ නහරවැල්
◾ ඇට
◾ ඇට මිදුළු
◾ වකුගඩු
◾ හදවත
◾ අක්මාව
◾ දලබුව
◾ බඩදිව
◾ පෙනහළු
◾ කුඩා බඩවැල
◾ මහා බඩවැල
◾ ආමාශය
◾ අසුචි
◾ හිස් මොළය
◾ පිත
◾ සෙම
◾ සැරව
◾ ලේ
◾ දහඩිය
◾ තෙල්මන්ද
◾ කඳුළු
◾ වුරුණු තෙල්
◾ කෙළ
◾ සොටු
◾ සඳමිදුළු
◾ මූත්‍ර

මේ ආකාරයෙන් කය පිළිබඳ ව අසුභ වශයෙන් දැකීම.

4. ආදීනව සංඥාව

ආරණ්‍යයකට, නිදහස් තැනකට, රුක් සෙවණකට හෝ ගිහින් නුවණින් මෙහෙම විමසනවා: මේ කය බොහෝ දුක් තිබෙන, ආදීනව තිබෙන දෙයක්. මේ කයේ විවිධාකාර රෝගාබාධ උපදිනවා.

° ඇස් රෝග

° කන් රෝග

° නාස රෝග

° දිවේ රෝග

° කයේ රෝග

° හිසේ රෝග

° පිටි කනේ රෝග

° මුඛ රෝග

° දත් රෝග

° ක්ෂය රෝග

° ඇදුම රෝග

° පීනස් රෝග

° දාහ රෝග

° උණ රෝග

° කුසේ රෝග

° සිහි මුර්ජා වීම

° ලේ අතීසාර රෝග

° අර්ශස් රෝග

° කොලරා රෝග

° කුෂ්ඨ රෝග

° ගඩු රෝග

° හමේ රෝග

° ශ්වාස රෝග

° අපස්මාර රෝග

° දද රෝග

° කඩුවේගන් රෝගය

° කැසීමෙන් ගෙඩි හට ගත් රෝග

° කැසීම් රෝග

° පණු හොරි රෝගය

° රත්පිත් රෝගය

° දියවැඩියා රෝගය

° අංශභාග රෝග

° පිළිකා රෝග

° භගන්දරා රෝගය

° පිතෙන් හටගන්නා රෝග

° සෙමෙන් හටගන්නා රෝග

° වාතයෙන් හටගන්නා රෝග

° තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝග

° ඍතු විපර්යාසවලින් හටගන්නා රෝග

° වැරදි ලෙස කය හැසිරවීමෙන් හටගන්නා රෝග

° උපක්‍රමයෙන් හටගන්නා රෝග

° කර්ම විපාකයෙන් හටගන්නා රෝග

° සීතල

° උණුසුම

° කුසගින්න

° පිපාසය

° මලපහ කිරීම

° මුත්‍රා කිරීම

මේ අයුරින් කය පිළිබඳ ආදීනව නුවණින් දකිමින් වාසය කරයි.

5. ප්‍රහාණ සංඥාව

• උපන්නා වූ කාම විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.

• උපන්නා වූ ව්‍යාපාද විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.

• උපන්නා වූ විහිංසා විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.

• උපනූපන් පාපී අකුසල විතර්ක නොඉවසීම. අත් හැරීම. දුරු කිරීම. නැති කිරීම. අභාවයට පත් කිරීම.

6. විරාග සංඥාව

ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙහෙම නුවණින් විමසීම. 'මෙය ශාන්ත වූ දෙයක්. ප්‍රණීත වූ දෙයක්. සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, විරාගී වූ අමාමහ නිවනයි'

7. නිරෝධ සංඥාව

ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් මෙහෙම නුවණින් විමසීම. 'මෙය ශාන්ත වූ දෙයක්. ප්‍රණීත වූ දෙයක්. සියලු සංස්කාර ධර්මයන් සංසිඳී ගිය, සියලු කෙලෙස් සහිත කර්ම දුරු වී ගිය, තණ්හාව ක්ෂය වී ගිය, දුක නිරුද්ධ ව ගිය අමාමහ නිවනයි'

8. සියලු ලෝකය පිළිබඳ නොඇලීමේ සංඥාව

මේ ස්කන්ධ, ධාතු, ආයතන ලෝකය කෙරෙහි තිබෙන යම් බැසගැනීමක් තිබේද, බැඳීමක් ඇද්ද, චේතනාත්මක අදිටන් කිරීමක් ඇද්ද, අභ්‍යන්තරව කෙලෙස් පැවැත්වීමක් ඇද්ද, ඒවා දුරු කරමින් නොබැඳෙමින් නොඇලී සිටීම මෙයින් අදහස් වෙනවා.

9. සියලු සංස්කාර පිළිබඳ අනිත්‍ය සංඥාව

සියලු සංස්කාරවලින් පීඩාවට පත් වෙනවාද, ලැජ්ජාවට පත් වෙනවාද, පිළිකුලට පත් වෙනවාද එය මෙනමින් හැඳින්වේ.

10. ආනාපානසතිය

ආරණ්‍යයකට, රුක් සෙවණකට හෝ නිදහස් තැනකට ගිහින් පළඟක් බැඳගෙන කය ඍජු කරගෙන භාවනා කරන අරමුණ පිළිබඳ සිහිය පිහිටුවාගෙන වාඩි වෙනවා.

• සිහියෙන් යුතුව ම හුස්ම ගන්නවා. සිහියෙන් යුතුව ම හුස්ම හෙළනවා.

• දීර්ඝ ලෙස ආශ්වාස කරනවා නම් දීර්ඝ ලෙස ආශ්වාස කරමියි දැනගන්නවා.

• කෙටියෙන් ආශ්වාස කරනවා නම් කෙටියෙන් ආශ්වාස කරමියි දැනගන්නවා.

• සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ආශ්වාස කරනවායි හික්මෙනවා. සියලු කය පිළිබඳ ව මනා සංවේදී බවකින් යුතුව ප්‍රාශ්වාස කරනවායි හික්මෙනවා.

• ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සැහැල්ලු කරමින් ආශ්වාස කරනවායි හික්මෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස නම් වූ කාය සංස්කාරය සැහැල්ලු කරමින් ප්‍රාශ්වාස කරනවායි හික්මෙනවා.

• ප්‍රීතිය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ප්‍රීතිය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සැපය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සැපය පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයන් පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සංඥා වේදනා නම් වූ චිත්ත සංස්කාරයන් පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• චිත්ත සංස්කාර සැහැල්ලු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. චිත්ත සංස්කාර සැහැල්ලු කරමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සිත පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සිත පිළිබඳ මනා සංවේදී බවකින් යුතු ව ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• වඩ වඩාත් ප්‍රමුදිත කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. වඩ වඩාත් ප්‍රමුදිත කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• වඩ වඩාත් සිත එකඟ කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. වඩ වඩාත් සිත එකඟ කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. පංච නීවරණයන්ගෙන් හිත නිදහස් කරවමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• ඇල්ම දුරුකිරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ඇල්ම දුරුකිරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• ඇල්ම නිරුද්ධ කිරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. ඇල්ම නිරුද්ධ කිරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

• සියලු කෙලෙස් අත්හැරීම නුවණින් දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙනවා. සියලු කෙලෙස් අත්හැරීම නුවණින් දකිමින් ප්‍රාශ්වාස කරන්නෙමියි හික්මෙනවා.

බුදුහිමිගේ අනුශාසනාව පරිදි මේ දස සංඥා දැඩි ලෙස රෝගී වෙලා හිටපු ගිරිමානන්ද තෙරුන්ට ආනන්ද ස්වාමින් වහන්සේ ගිහින් වදාළා. මෙය ඇසූ ගිරිමානන්ද ස්වාමින් වහන්සේගේ රෝගය එතැනම සුවපත් වුණා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා. ධර්මාවබෝධය ම ලබත්වා!

(පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ පිරුවානා පොත් වහන්සේ ඇසුරිනි)

බුදුගුණ භාවන‍ාවෙන් සමාධියට කමටහන්

  උග්ගල්ල මිහිඳු වන ආරාමය (උදේ සිට සවස දක්වා) (නා උයන සේනාසනයේ ශාඛාවකි) Google map:   Uggalla Mihinduwanaramaya, V47C+347 මෙහි යාමට ප්‍රථම ද...